ජනපති රට යයි

මැයි 23, 2023

    සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අළුයම 12.30 මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනෙන් පිටත්ව ගියා.

    සිය එක් දින සිංගප්පූරු සංචාරයේ දී ජනාධිපතිවරයා සිංගප්පූරුවේ නීතිය හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    හෙට සිට ලබන 27 වැනිදා දක්වා සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ ජපාන නිල සංචාරයේ දී එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

    ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳවත්, කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවත් නායකයින් දෙපළ එහිදී අදහස් හුවමාරු කර ගැනීමට නියමිතව තිබෙනවා.

    එමෙන්ම ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි, මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මෙන්ම ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ සමගද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

    මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 25 සහ 26 දෙදින ටෝකියෝ නුවර පැවැත්වෙන “ආසියාවේ අනාගතය පිළිබඳ 28 වැනි ජාත්‍යන්තර සමුළුව ඇමතීමට ද නියමිතව තිබෙනවා.

    ආසියාවේ අනාගතය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව යනු ආසියා පැසිෆික් කලාපයේ දේශපාලන, ආර්ථික සහ කලාපීය ගැටළු හා ලෝකය තුළ ආසියාවේ භූමිකාව පිළිබඳව කලාපයේ නායකයන් එක්ව අදහස් හුවමාරු කර ගන්නා ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමුළුවක්.

    ජපානයේ “නික්කෙයි” පුවත්පත 1995 වසරේ සිට වාර්ෂිකව මෙම සමුළුව සංවිධානය කරනු ලබනවා.

    සිය නිල සංචාරයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ජපාන - ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කවුන්සිලය, ජපානයේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ජපාන - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීමට පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ජපානයේ සංචාරයක නිරත වූ අතර වත්මන් ධූර කාලය තුළ ජනාධිපතිවරයා ජපානයේ සිදුකරන දෙවන සංචාරය මෙයයි.

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිනවා.

    Latest News