ඉරානයට ඩ්‍රෝන ප්‍රහාරයක්

අප්‍රේ 20, 2024

    ඉරානයේ න්‍යෂ්ටික පර්යේෂණාගාරයක්, විප්ලවීය හමුදාවේ ගුවන් බළකා කඳවුරක් සහ මිසයිල නිෂ්පාදනාගාරයක් පිහිටි ඉස්ෆහාන් නුවරට ඊයේ (19) අලුයම ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ප්‍රාන්ත කිහිපයකින් ගුවනට ප්‍රහාර එල්ල කරමින් ඩ්‍රෝන 3ක් බිඳ හෙළා ඇතැයි එරට රජයේ මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් ස්කයි පුවත් සේවය සඳහන් කරනවා. එය ඊශ්‍රායලය වෙතින් එල්ල වූ ප්‍රහාරයක් බවට ඉරානය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැති අතර, ප්‍රහාරය සම්බන්ධව ඊශ්‍රායලය ද කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැතැයි වාර්තා වනවා. ඉරානයේ ටෙහ්රාන් අගනුවරට කිලෝමීටර් 440ක් දකුණු දෙසින් පිහිටි ඉස්ෆහාන් නුවර විශාල පිපි­රීම් ශබ්ද ඇසුණු බවට වාර්තා පළවූවද, එය ගුවන් ආරක්ෂක පද්ධතියෙන් එල්ල කළ ප්‍රහාරවල ශබ්ද බව ප්‍රාන්ත හමුදා ප්‍රධානියා තහවුරු කර ඇතැයි ටෙහ්රාන් ටයිම්ස් පුවත් සේවය සඳහන් කරනවා. ප්‍රහාරය එල්ලවූ ඊයේ දිනයේ ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කුමේනිගේ උපන් දිනය යෙදී තිබූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මේ ප්‍රහාරයෙන් කිසිදු දේපළ හානි­යක් හෝ ජීවිත හානියක් සිදු වූ බවට තොර­තුරු වාර්තා නොවන බව ද සඳ­හන්.

    Latest News