කොල්ලො කෙල්ලො අපේක්ෂා කරන රට ගොඩනගනවා - ජනපති

අප්‍රේ 19, 2024
    මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසුවා.

    බොහෝ දෙනා අසීරු බව පැවසූ බිඳ වැටුණු ශ්රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ අභියෝගය භාරගත් තමා වසර දෙකක් තුළදි රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යාමට අවශ්යව ඇත්තේ සාමුහිකත්වය පමණක් බවද කියා සිටියේය.

    ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නුවරඑළිය දිස්ත්රික්කයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ තරුණ දේශපාලන නියෝජිතයන් සමඟ ඊයේ (18) නුවරඑළිය ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදීය.
     
    නුවරඑළිය දිස්ත්රික්කය ඉහළ සංචාරක ආකර්ශනයක් දිනාගත් ප්රදේශයක් ලෙස සංවර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අද ඇතැමුන් අකුල් හෙළමින් සිටින බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
     
    පැරණි දේශපාලනයේ නිරතව රට සංවර්ධනය කළ නොහැකි බවත්, රටට අවශ්ය ආයෝජන ආකර්ශනය කර ගනිමින් රට සංවර්ධනය කිරීමට නම් සියලුදෙනා එකඟතාවයකින් කටයුතු කළයුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
     
    රජයේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ සමඟ රට තුළ ඇතිවී තිබෙන ආර්ථික ස්ථාවරත්වය නිසා ජනතාව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද චාරිත්රවලට මුල් තැන දෙමින් සතුටින් සැමරු බව ද සඳහන් කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද සියලු ක්ෂේත්රවල සිදුව තිබෙන පිබිදීම සමඟ ජනතාවගේ ආදායම් මාර්ග ද ඉහළ යමින් තිබෙන බවත්, රටේ සියලු ජනතාවට මෙම ප්රතිලාභය හිමි කර දීම තම අරමුණ බවත් පැවසීය.
     
    තරුණ ප්රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් සෑම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයකම ප්රාදේශීය තරුණ කේන්ද්ර පිහිටුවීමට සැළසුම් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එම ප්රාදේශීය තරුණ කේන්ද්ර හරහා තරුණ ව්යවසායකයන් නගාසිටුවීමට කටයුතු කරන බවත්, බැංකු ශාඛාවල ප්රධාන නිලධාරීන් සහ වාණිජ මණ්ඩල සාමාජිකයන් ද ඊට සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර ඇති බවත් කියා සිටියේය.

    Latest News