තහනම් කෙරුණු රටවලින් පසුගිය දින 14 ඇතුළත සංචාරකයන්මෙරටට පැමිණ නෑ..ඇමති ප්‍රසන්න

නොවැ 29, 2021

    තහනම් කෙරුණු රටවල් 06න් සංචාරකයන් පසුගිය දින 14 ක කාලය තුල මෙරටට පැමිණ නැතැයි, සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛණ මගින් එය තහවුරු වන්නේ යැයි, අමාත්‍යවරයා සදහන් කරයි. කොළඹ (27) රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.

    ඔමික්‍රෝන් නව කොරෝනා ප්‍රභේදය වෛරස හේතුවෙන් දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසටෝ සහ ස්වාසිලන්තයේ ගත වු දින 14 තුළ සංචාරය කළ මගීන්ට මෙරටට පැමිණීම (28) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව අදාළ ගුවන් සමාගම වෙත දැනුම් දි තිබේ.

    සංචාරකයන් හැර වෙනත් අය පසුගිය දින 14 තුළ මෙම රටවලින් මෙරටට පැමිණ ඇද්දැයි අදාළ අංශ සොයා බලන බවත් ඒ අනුව සෞඛ්‍ය අංශ ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි. අදාළ රටවල හැර සෙසු රටවලින් පැමිණෙන සංචාරකයන්ට මෙරටට පැමිණීමට බාධාවක් නැති බව අවධාරණය කළ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වීසා ලබාදීමේ දී ඔවුන් අදාළ රටවල සංචාරය කර ඇද්දැයි යන්න පරික්ෂා කෙරෙන බව ද ප්‍රකාශ කළේය.

    ඉදිරියේ දි මෙරට පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරග ඇතුළු ජාත්‍යන්තර තරග ක්‍රීඩා වලට සහභාගී වන සහ එම තරග නැරඹිමට එන අය සම්බන්ධයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේදැයි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා සදහන් කළේ, පූර්ණ එන්නත්කරණයට ලක් වු අයට එම තරග නැරඹීම සදහා මෙරටට පැමිණීමට හැකි බවයි.

    ඒ සම්බන්ධයෙන් ද ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ ද සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරමින් ඔවුන්ගේ නිර්දේශ මත බව ද ඔහු ප්‍රකාශ කළේය. මේ වන විට ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් තත්ත්වය යටතේ වුවද ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්, සම්මන්ත්‍රණ හා සමුළු සංවිධානය කරමින් සිටියි.

    මේ වන විට මෙරට ජනගහණයෙන් 90%කට ආසන්න පිරිසක් එන්නත්කර තිබේ. එහෙත් කොවිඩ් වලින් පරිස්සම් වීම සියලු දෙනාගේ වගකීමකි. එබැවින් සෞඛ්‍ය නිර්දේශ අනුව නව සාමාන්‍යකරණ වැඩපිළිවෙල යටතේ ජනතාව ආරක්ෂා කර ගනිමින් රට පවත්වාගෙන යාම ආණ්ඩුවේ අපේක්ෂාව බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    Latest News