නාකොටික් නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ්

අගෝ 31, 2020

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ එම කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් 13 දෙනා තවදුරටත් ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

    මෙහි පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විසින් කරනු ලැබූ ඉල්ලීමක් පිලිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම නඩු කටයුත්තේ 14 වන සැකකරු ලෙස දැනට ඩුබායි හි වාසය කරන ප්‍රබල මත්ද්‍රව්‍ය මෙන්ම පාතාල සංවිධානාත්මක ජාවාරම්කරුවක් වන "උදාර සම්පත්" නැමැත්තා නම් කිරීමට ද අවසර ලබාදුන්නා.

    මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 13 දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

    මෙම පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත මෙම සැකකරුවන් විසින් ඉකුත් අප්‍රේල් මස මාතර සිට හික්කඩුව සහ කොළඹ ප්‍රදේශවලට ප්‍රවාහනය කළ හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 130 අතුරින් කිලෝග්‍රෑම් 25ක් හික්කඩුව ප්‍රදේශයට බෙදා හැර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන් කළා.

    හික්කඩුව ප්‍රදේශයට බෙදා හරින ලද හෙරොයින් කිලෝග්‍රෑම් 25 ක් අතුරින් කිලෝග්‍රෑම් ග්‍රෑම් 11ක් හික්කඩුව, කහව ප්‍රදේශයේදී "නීල්" නැමැති පුද්ගලයෙකු සන්තකයේ තිබී ඉකුත් ජූලි මස 24 වැනිදා අත්අඩංගුවට ගත් බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම පුද්ගලයා සතුව තිබී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක්, පිස්තෝල දෙකක් සහ ජීව උණ්ඩ අඩංගු මැගසින් හතරක් සොයාගත් බව ද අධිකරණයට දන්වා සිටියා.

    එම ගිනි අවි හා උණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැදවීමට අවසර දෙන ලෙස රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන වීමටද අවසර ලබාදුන්නා.

    වැඩිදුරටත් අධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක් එක් ප්‍රදේශවලට යොමු කරනු ලබන මත්ද්‍රව්‍ය තොග හඳුනාගැනීම සඳහා ඒවා විවිධ වර්ණවලින් යුත් ඇසුරුම් භාවිතා කර ඇති බවට මෙම විමර්ශනවලදී පළමු වතාවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.

    නිදසුනක් ලෙස අම්බලන්ගොඩ ප්‍රදේශයට බෙදාහරින මත්ද්‍රව්‍ය සඳහා නිල් පැහැති ඇසුරුම් ද ගාල්ල ප්‍රදේශයට බෙදාහරින මත්ද්‍රව්‍ය සඳහා කොළ පැහැති ඇසුරුම් සහ වැලිගම ප්‍රදේශය සඳහා යොමු කරන මත්ද්‍රව්‍ය වෙනුවෙන් කළු පැහැති ඇසුරුම් ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් භාවිතා කර ඇතැයි පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මත්ද්‍රව්‍ය විමර්ශන ඉතිහාසයේ මෙම තොරතුරු අනාවරණය වූ ප්‍රථම අවස්ථාව මෙය බවත් ඒ බව තහවුරු කෙරෙන ඡායාරූපයක්ද අධිකරණයට ඉදිරිපත් කළා.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු මත්ද්‍රව්‍ය තොග මෙම සැකකරුවන් ඔවුන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රවාහනය කර ජාවාරම් කර ඇති බවට ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි මේ වනවිට අනාවරණය වී තිබෙන බව සඳහන් කර සිටියා.

    මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විවෘත අධිකරණය හමුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට පෙන්වා දී සිටියේ මෙම විමර්ශනයට අදාළව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති සැකකරුවන් සිටීනම් ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙසයි.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සැකකරුවන් ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

    එම නඩුවේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හෙයින් ඔවුන්ට අදාළ විමර්ශන කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙසයි, මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.

    Latest News