රිමාන්ඩ් භාරයේ පසුවන නාකොටික් නිලධාරීන්ගේ ඇප ඉල්ලීම්වලට නීතිපතිවරයාගෙන් විරෝධය

ජන 27, 2021

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා එම කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පස් දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් වලට දැඩි විරෝධය පළ කරන බව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

    එම ඇප ඉල්ලීම් අද සලකා බැලීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හිටපු පොලිස් පරීක්ෂක ලයනල් ජයරත්න ඇතුළු පස් දෙනෙකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා

    එහිදී අදාළ ඇප ඉල්ලීම්වලට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් කෙටි විරෝධතාවක් ගොනු කර තිබුණා.

    එහෙත් මෙම කෙටි විරෝධතාව සම්බන්ධයෙන් තමන්ට සෑහීමකට පත්විය නොහැකි බව පැවසූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම ඇප ඉල්ලීම් වලට එරෙහිව දීර්ඝ විරෝධතාවක් ගොනු කිරීමට තමන් අපේක්ෂා කරන බව සඳහන් කළා.

    මෙම ඇප් ඉල්ලීම් සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් හා සඳහන් කළේ.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එම ලිඛිත විරෝධතා පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ ගොනු කරන ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට දැනුම් දුන්නා

    Latest News