2023 වසරේ ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍රය කුමක්ද කියා ඔබ දන්නවාද ?

ජූලි 19, 2023

    හෙන්ඩ්ලි ග්ලෝබල් නමැති අන්තර් ජාතික ආයතනය සෑම වසරකම ලෝකයේ විවිධ රටවල විදෙස් ගමන් බලපත්‍රවලට හිමි ස්ථානය ශ්‍රේණිගත කරමින් දර්ශකයක් සකස් කරනවා.

    2023 දර්ශකය ඊයේ එළිදැක්වුණා. ඒ අනුව, ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍රය හිමි රටවල් අනුපිළිවෙළින් අංකනය කර තිබෙනවා. මෙහිදී නිර්ණායකය ලෙස සැලකිල්ලට ගනු ලබන්නේ, විදෙස් ගමන් බලපත්‍රයකට නිදහස් වීසා පිරිනමන රටවල් සංඛ්‍යාවයි.  ඒ අනුව, මෙවර ලොව අංක එක ස්ථානය හිමි කර ගෙන ඇත්තේ, සිංගප්පූරුවයි.

    සිංගප්පූරු විදෙස් ගමන් බලපත්‍රයට ලොව රටවල් 192 කින් නිදහස් වීසා හිමි වනවා. මීට පෙර පළමු ස්ථානයේ සිටි ජපානය තුන්වැනි ස්ථානයට පත්ව තිබෙනවා. දෙවැනි ස්ථානය හිමි කර ගෙන ඇත්තේ, ජර්මනිය, ඉතාලිය හා ස්පාඤ්ඤයයි. එම රටවලට රටවල් 190 කින් නිදහස් වීසා හිමි වනවා. තුන්වැනි ස්ථානය, රටවල් 189 ක නිදහස් වීසා හිමි ජපානය, ප්‍රංශය ෆින්ලන්තය හා ඔස්ට්‍රේලියාව යන රටවලට හිමිව තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ විදෙස් බලපත්‍රයට හිමි වී ඇති ස්ථානය කුමක් ද ? මෙරට විදෙස් ගමන් බලපත්‍රයට හෙන්ඩ්ලි ග්ලෝබල් දර්ශකයේ 95 වැනි ස්ථානයේ පසු වනවා. මෙරටට නිදහස් වීසා පිරිනැමෙන්නේ, රටවල් 41 කින් පමණයි. බංග්ලාදේශය 96 වැනි ස්ථානයේත්, නේපාලය 98 වැනි ස්ථානයේත්, පකිස්තානය 100 වැනි ස්ථානයේත් පසු වනවා. ශ්‍රී ලංකාවට ඉහළින් සිටින රටවල් වන්නේ, මාලදිවයින, ඉන්දියාව හා භූතානයයි.

    රටවල් 91 කින් නිදහස් වීසා හිමිවන මාලදිවයින් විදෙස් ගමන් බලපත්‍ර ලැයිස්තුවේ 57 වැනි ස්ථානයේ පසු වන්නේ, හොඳම විදෙස් ගමන් බලපත්‍රය හිමි දකුණු ආසියානු රට බවට පත්වෙමින්. ඉන්දියාව, 80 වැනි ස්ථානයේත්, භූතානය 84 වැනි ස්ථානයේත් පසු වනවා. ලැයිස්තුවේ අවසාන ස්ථානය, එනම්, 103 වැනි තැන හිමි කර ගෙන සිටින්නේ, ඇෆ්ගනිස්ථානයයි.

    Latest News