වනිදුගෙන් ලෝක වාර්තාවක් සමගින් ශ්‍රී ලංකාවට ජයක්

නොවැ 05, 2021

    පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් හිමි වුණා.

    එම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගය වූ එහි දී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලකුණු 20 කින් පරාජය කිරීමට හැකි වුණා.

    ඊයේ තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව්වෙන් ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා. එහි දී චරිත් අසලංක පන්දු 41 කදී ලකුණු 68 ක් ද, පැතුම් නිස්සංක පන්දු 41 කදී ලකුණු 51 ක් ද රැස් කරමින් නියමිත පන්දු වාර 20 දී කඩුලු 03 ක් දැවී ලකුණු 189 ක් රැස් කළා. චරිත් මෙවර ලෝක කුසලානයේදී වාර්තා කළ දෙවන අර්ධ ශතකය මෙය වන අතර පැතුම් මෙවර ලෝක කුසලානයේදී වාර්තා කළ තුන්වන අර්ධ ශතකය මෙයයි.

    පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 20 දී කඬුලු 08 ක් දැවී රැස් කර ගත්තේ ලකුණු 169 ක් පමණයි. එහිදී නිකොලස් පුරාන් ලකුණු 46 ක් සහ ශිම්රෝන් හිට්මයර් නොදැවී ලකුණු 81 ක් රැස් කළා. සෙසු කිසිදු කොදෙව් පිතිකරුවෙකුට ලකුණු 09 යේ සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා නොදීම ද විශේෂත්වයක්. යළිත් දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 19 කට කඬුලු 02 ක් බිඳ හෙළුවා.

    වනිදු හසරංග බිඳ හෙලූ මෙම කඩුලු 02 ත් සමඟ මෙවර තරඟාවලිය පුරා ඔහු බිඳ හෙළා ඇති සමස්ථ කඬුලු සංඛ්‍යාව 16 ක්. එය සැලකෙන්නේ කිසියම් පන්දුයවන්නෙකු පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලානයකදී දවා ගත් වැඩිම කඬුලු සංඛ්‍යාව ලෙසයි. ඔහු මෙලෙස බිඳ හෙලුවේ 2012 වසරේදී කඬුලු 15 ක් බිඳ හෙළමින් අජන්ත මෙන්ඩිස් පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි.

    Latest News