ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත රැගත් ගුවන් යානය හෙට (28) දිවයිනට (වීඩියෝ)

ජන 27, 2021
  • කොවිඩ් - 19 මර්දනය සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිතය.

    ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා පැවසුවේ එන්නත් රැගත් ගුවන් යානය හෙට පෙරවරු 11.00 ට මෙරටට පැමිණීමට නියමිත බවය.

    මෙරට පැතිර යන කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ඉන්දිය රජය විසින් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදෙන බව සඳහන්ය.

    එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් සොයා ගන්නා ලද මෙම එන්නත ඉන්දියාවේ මුම්බායි හි පිහිටි ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තුළ නිෂ්පාදනය කරනු ලබයි.

    ඉන්දීය ගුවන් සේවයට අයත් A I 281 දරණ ගුවන් යානයෙන් මෙම එන්නත් තොඟය මෙරටට රැගෙන එනු ඇත.

    කිලෝග්‍රෑම් 1,323ක් බරැති මෙම එන්නත් තොගය ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුළ මෙරටට රැගෙන ඒමට නියමිතය.

    පසුව එම එන්නත් තොගය ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ඇති ශීතාගාර තුළ ගබඩා කිරීමට සැලසුම් කර තිබේ.

    මේ අතර, ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත මෙරටට ගෙන ඒමත් සමග අනිද්දා (29) සිට එන්නත්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව, කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

    ඇය සඳහන් කළේ, පළමුවෙන් එන්නත් ලබා දෙන්නේ ආසාදිතයින් සම්බන්ධ ඉදිරි පෙළ කටයුතුවල නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු පිරිස් සඳහා බවයි.

    ඒ අනුව, සෞඛ්‍යය කාර්ය මණ්ඩලයේ 155,000ක් සඳහා සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ 127,000ක පිරිසක් සඳහා පළමු අදියරේ එන්නත්කරණය සිදු කෙරෙනු ඇති බව ඇය පැවසුවාය.

    ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත්වලට මේ වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව ඇති අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත සඳහා ද රජය එම අධිකාරියෙන් අනුමැතිය ඉල්ලා තිබේ.

    රජය වෙනුවෙන් එම රුසියානු එන්නත සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවයි.

    එම සංස්ථාව රුසියානු ස්පුට්නික් 5 එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ලියාපදිංචි කිරීමට අදාළ ලියකියවිලි ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත පසුගිය 08 වැනිදා ඉදිරිපත් කර තිබිිණ.

    Last modified on බදාදා, 27 ජනවාරි 2021 23:00

    Latest News