යුරෝපා සංගමය සහ රජය අතර එකඟතාවයක්; ඒ්, ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේදී

ජන 27, 2021

    මානව හිමිකම් සහ ප්‍රතිසංවිධාන ගැටලු පිළිබඳව අඛණ්ඩව සමීපව කටයුතු කිරීමට යුරෝපා සංගමය සහ මෙරට රජය එකඟ වී තිබේ.

    යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය සිය 23 වන ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම පසුගියදා පැවත් වූ අතර එහිදී එම එකඟතාවයට පැමිණි බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

    යුරෝපා සංගමයේ සහ මෙරට නව නායකත්වයන් යටතේ පැවති පළමු ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම ද මෙයවීම විශේෂත්වයකි.

    එම සංගමයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින කැමැත්ත යළි තහවුරු කරමින් යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව පුළුල් විෂයන් රැසක් යටතේ අදහස් හුවමාරු කරගත් බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

    වෙළඳ සම්බන්ධතා වැඩි දියුණු කිරිමේ වැදගත්කම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබේ.

    GSP ප්ලස් යටතේ යුරෝපා සංගමය විසින් මෙරටට ප්‍රදානය කළ ඒකපාර්ශ්වික තීරුබදු සහනය මගින් මෙරට ආර්ථිකයට සැලකියයුතු අන්දමේ දායකත්වයක් ලබාදී ඇති බවට අදහස් හුවමාරුවී ඇත.

    මෙරට සිට යුරෝපා සංගමය වෙත කරන අපනයන යුරෝ බිලියන 2.3ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එමගින් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළෙඳපොළ බවට පවත්ව ඇති බව සඳහන්ය.

    Last modified on බදාදා, 27 ජනවාරි 2021 18:14

    Latest News