සිල් රෙදි නඩුව කැඳවීමට දින නියම වෙයි

නොවැ 17, 2020

    සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් හා දඩ නියම වී ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු එම චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා යළි මේ මස 20 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම් අද කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විනිසුරුවරූ සදහන් කළේ මෙම අභියාචනාවලට අදාල තීන්දුව සුදානම් කර තිබෙන බවයි.

    එහෙත් මෙම නඩුව අද කැඳවන බව එහි පාර්ශවකරුවන්ට දැනුම් දී නොමැති හෙයින් නඩු තීන්දුව අද දින ප්‍රකාශ නොකරන බව පැවසූ විනිසුරුවරුන් මෙම අභියාචන පෙත්සම් යළි ලබන 20 වනදා කැඳවන ලෙස නියම කළා.

    එදින මෙම අභියාචනා කැඳවන බව අදාළ පෙත්සම් බල පාර්ශවකරුවන්ට දැනුවත් කරන ලෙස ද විනිසුරුවරු විසින් අභියාචනාධිකරණය රෙජිස්ට්‍රාර්වරයා නියෝග කළා.

    2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණා.

    එම චෝදනාවලට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට 2017 වසරේ සැප්තැම්බර් මස 07 වනදා බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් ද කොළඹ මහාධිකරණය මගින් නියම කරනු ලැබුවා.

    තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරයෙන් නීතියට පටහැනි බවත් තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ලෙස ඉල්ලමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොණුකර තිබෙනවා.

    Latest News