ඇමති ඉරාන්,රටේ ආරක්ෂාව ස්ථාපිතයි..ව්‍යාපාරිකයින්ට හොඳ වටපිටාවක්

මැයි 22, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිසම සංවිධානය කළ ඉන්වෙස්ට් ශ්‍රී ලංකා ව්‍යාපාරික හමුව සිංගප්පූරුවේ දී පැවැත්විණ.

    සිංගප්පූරුවේ දී මෙවැනි හමුවක් සංවිධානය කළ 4 වැනි අවස්ථාව මෙයයි.

    පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරට ආර්ථිකයේ සිදුවූ පසුබෑම වළක්වා ගැනීමට කෙටි කාලීන සහ මධ්‍ය කාලීන වැඩපිළිවෙල ඉදිරිපත් කිරීම මෙහි අරමුණයි. සිංගප්පූරු ව්‍යාපාරික සංසදය සහ එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මේ සඳහා සහය දක්වා තිබේ. මෙහි දී විද්වත් කතිකාවතක් සංවිධානය කර තිබිණ. ඒ සඳහා රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, කොළඹ කොටස් වෙළෙඳපොළේ සභාපති රේ.අබේවර්ධන, විනිමය සුරැකුම්පත් කොමිසමේ සභාපති ඇතුළු ඉහළ පෙළේ විද්වතුන් සහභාගී වුහ.

    මෙරට ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක ප්‍රධානීහු ද ඊට එක්ව සිටියහ. ඔවුන් සහ සිංගප්පූරු ව්‍යාපාරිකයන් අතර මුහුණට මුහුණ හමුවක් ද පැවැත්විණ. අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පැවසුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ලංකාවේ ආරක්ෂක තත්වය තහවුරු කර ඇති බැවින් ව්‍යාපාරික කටයුතු සඳහා හොඳ වටිනාකමක් ඇති බවයි.

    Last modified on බදාදා, 22 මැයි 2019 14:59

    Latest News