ළමයෙකු ලෙස සැලකෙන වයස ඉහළ දැමීමට යෝජනා

සැප් 28, 2022

    ශ්‍රී ලංකාව තුළ ළමයෙකු ලෙස සැලකෙන වයස අවුරුදු 16  සිට 18 දක්වා  ඉහළ දැමීමට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ඒ පිළිබඳව  පාර්ලිමේන්තු විශේෂ  කාරක සභාවේ දී පසුගියදා දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

    ශ්‍රී ලංකාව තුළ ළමයෙකු විය යුතු තැනැත්තෙකුගේ වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ නැංවිය යුතු බව, ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාවල සඳහන්.

    මේ පිළිබඳව ස්ත්‍රි, පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගියදා රැස්  වූ අවස්ථාවේ සාකච්ඡා කෙරුණා. ඒ, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මි‍යගේ ප්‍රධානත්වයෙන්.

    ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥා පනත යන වචන වෙනුවට ළමා ආඥා  පනත ලෙසද, ළමයින් සහ තරුණ තැනැත්තන් යන වචන වෙනුවට ළමයින් ලෙස ද සංශෝධනය කිරීමට මෙමගින් යෝජනා කර තිබෙනවා.  

    යම් ලිඛිත නීතියක හෝ ප්‍රධාන ප්‍රඥප්තිය යටතේ සාධන ලද යම්  නියෝගයක හෝ රීතියක හෝ දැන්වීමක, නිවේදනයක, ගිවිසුමක හෝ වෙනත් ලේඛනයක තරුණ අය යන වචන සදහන් වන සෑම් ස්ථානයකින්ම ඒ වචන ඉවත්  කළ යුතු බවට ද, පනත් කෙටුම්පත මගින් යෝජනා කර තිබෙනවා. 

    දරුවෙකුට හෝ තරුණයෙකුට දඬුවම් කිරීමට ඕනෑම දෙමාපියෙකුට ගුරු‍වරයෙකුට හෝ නීත්‍යානුකූල භාරකරුවෙකුට ඇති අයිතියකට බලපාන ලෙස ගොඩනොනැගිය යුතු බව, යන්න සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත් කර තිබෙනවා.

    23 වැනි අධිකාරිය  වූ ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥා පනතේ අරමුණ ළමයිගේ සහ තරුණයින්ගේ ආරක්‍ෂාව උදෙසා බාල වයස්කාර අපරාධකරුවන් අධීක්‍ෂණය කිරීමට බාල වයස්කාර අධිකරණ පිහිටු වීමට නියෝග සෑදීමයි.

    Latest News