බස් අනතුර ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි

ජූලි 11, 2023

    පොළොන්නරුව, මනම්පිටිය ප්‍රදේශයේ කොටලිය පාලමෙන් ඔයට බස් රථයක් පෙරළී සිදු වූ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර කඩිනමින් වාර්තාවක් තමන්ට ලබා දෙන්නැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට ඊයේ (10) දැනුම් දුන් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

    ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ අන්තර් පළාත් ප්‍රවාහන අධිකාරිය එක්ව මේ වාර්තාව සකස් කරනු ඇති බවත් මෙහි දී වරදකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසුවා.

    ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

    රට පුරා ධාවනය කරන සියලු මගී බස් රථ සඳහා බලපත්‍ර ලබා ගන්නා ලෙස දැනුම් දෙමින් දැන්වීමක් පළ කළ බවත් ඊට අනුගත නොවී බලපත්‍ර නොමැතිව ධාවනය කරන බස් රථ සම්බන්ධයෙන් නීත්‍යනූකූල පියවර ගන්නා බවත් ඔහු පවසනවා.

    වටිනා මිනිස් ජීවිත 10ක් අහිමි වී විශාල පිරිසක් තුවාල ලැබූ මෙම අනතුර සම්බන්ධයෙන් තමා කණගාටුවට පත් වන බවත් රියැදුරුගේ අපරීක්ෂාකාරී රිය පැදවීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙන බවත් අමාත්‍යවරයා පවසනවා.

    මේ මාර්ගයේ ප්‍රමාණයට නොගැලපෙන පාලම පුළුල් කිරීම සම්බන්ධයෙන් මීට වසර පහකට පෙර සාකච්ඡා කර ඇති බවත් ඊට වැය වෙන රුපියල් මිලියන 300ක මුදල් නොමැතිකම හේතුවෙන් එය කල් දමා ඇති බවත් ඔහු පවසනවා.

    ඉදිරියේ දී රට මුහුණ දී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළින් අනතුරුව මෙම පාලම ඇතුළු අනතුරුදායක ස්ථාන ප්‍රතිසංස්කරණයට මූලිකත්වය දෙමින් කටයුතු කරන බවත් ඔහු පවසනවා.

    උතුරු-නැ‍ඟෙනහිර පළාතේ බස් රථ ගණනාවක් බලපත්‍ර නොමැතිව ධාවනය වන බවට පැමිණිලි ගණනාවක් පසුගිය කාලය පුරා ලැබුණු බවත් ප්‍රකාශ කළ ඔහු එම බස් රථවලට අනුමැතිය දෙන ලෙස ඉල්ලමින් කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට යොමු කළ ද ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ඊට අනුමැතිය ලබා දීමට නොහැකි බව කියමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවත් අමාත්‍යවරයා කියා සිටියා.

    මෙහි දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා පැවසුවේ, මෙම බස් රථය සඳහා පළාත් අධිකාරියකින් යම් බලපත්‍රයක් ලබාගෙන ඇත්දැයි යන්න මේ වන විට පරීක්ෂණ සිදු කරන බවයි.

    අවිධිමත්ව ධාවනය වන බස්රථ සඳහා විශාල දඩ මුදලක් නියම කිරීමට මේ වනවිට නීති සකස් කරමින් සිටින බව කියා සිටි ඒ මහතා ඉදිරියේ දී ඒ සඳහා වන නීති දැඩි කරන බවත්, මේ බස් රථ අනතුරට වගකිව යුතු අයට දඬුවම් කරන බවත් ඔහු ප්‍රකාශ කරනවා.

    Latest News