ඉදිකිරීම්කරුවන්ට ගෙවීම් කටයුතු සදහා සහනදායී ක්‍රමවේදයක් - ඇමති බන්දුල

ඔක් 03, 2022

    ඉදිකිරීම්කරුවන්ට ගෙවීම් කටයුතු කිරීම සඳහා ඉදිරි සති දෙක, තුන ඇතුළත සහනදායි ක්‍රමයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 

    මහනුවර කුණ්ඩසාලේ පිහිටි මඟනැඟුම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු පාසලේ සිය වන කණ්ඩායමේ සහතික පත්‍ර ප්‍රදානය ඊයේ (02) මධ්‍යම පළාත් ශ්‍රවණාගාර ශාලාවේ දී පැවැත්වුණු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    "අපේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මේ වනවිට ප්‍රශ්න රාශියක් තිබෙනවා. දශක තුනක යුද්ධයෙන් විනාශ වූ උතුරු නැඟෙනහිර පළාත්වල මංමාවත් විදුලිය ජලාපවාහන අංශ නැවත ගොඩනැඟීමට ඉතා විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා.

    උතුරු වසන්තය, නැගෙනහිර උදානය වැනි ව්‍යාපෘතිවලදී මඟ නැඟුම, මාර්ග සංවර්ධන අධිකාරිය වැනි ආයතන විශාල සේවයක් ඉටු කළා. ඒ සඳහා සැපයුම් කළ සැපයුම්කරුවන්ට විශාල මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබෙනවා.

    රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ඔවුනුත් අර්බුදයට ලක්ව තිබෙනවා. මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර එලෙස විශාල මුදලක් ගෙවිය යුතු අයට ඉදිරි සති දෙක ඇතුළත සහනදායි ගෙවීම් ක්‍රමයක් ලබා දීමට අපි මැදිහත්ව කටයුතු කරනවා.

    එසේම ඉදිරි සති කීපය තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ එක්ව අවබෝධතා ගිවිසුමක් ඇතිකර ගෙන විදේශ රටවල අවශ්‍යතාවය හා ඉල්ලුම ඇති බර වාහන පුහුණුව අංශ සඳහා විශේෂ පුහුණුවක්‌ ලබා දීමටත් අප කටයුතු කරනවා.

    අවශ්‍ය පුහුණු ශ්‍රමය අවශ්‍ය ස්ථානවලට ලබා දීම එම ගිවිසුම තුළින් හැකිවනවා. එසේම මේ ආයතනය උසස් පිළිගැනීමක් ලැබෙන පරිදි ඉදිරියේදී එහි නම මගනැඟුම තාක්ෂණික ආයතනය ලෙසින් සංශෝධනය කරන්නට අපි අවශ්‍ය කටයුතු කරනවා."

    Latest News