රට රැකියා පෙන්වා මුදල් ගත් 4ක් අල්ලයි

නොවැ 21, 2022

    රුමේනියාවේ විදේශ රැකියා ලබා දෙන බව පවසා, මුදල් වංචා කිරීමට සැලසුම් කළ ඉතාලි ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙක් බදුල්ලේදී ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඒ, විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඊයේ සිදු කළ වැටලීමකදී.

    මුහුණු පොතේ දැන්වීමක් පළ කර, බදුල්ලේ පිහිටි හෝටලයකට සම්මුඛ පරීක්ෂණයක් සඳහා තරුණ තරුණියන් කැඳවා සිටියදී, මෙම වැටලීම සිදු කෙරුණා. ඒ වන විට ඉතාලි ජාතිකයා සතුව ගමන් බල පත්‍රයක් ද නොතිබූ බවයි, වැටලීම සිදු කළ නිලධාරීන් සඳහන් කළේ. තරුණ තරුණියන් 25 දෙනෙකු ට වැඩි සංඛ්‍යාවක් ඊට පැමිණ සිටියා. ඔවුන්ව දැනුවත් කරමින්, ‍එම සම්මුඛ පරීක්ණය සංවිධාන කළ පුද්ගලයන් පවසා ඇත්තේ, රුපියල් ලක්ෂ 15 ක මුදලක් රැකියා ලබාදීම සඳහා අය කරන බවයි. තවද, වීසා ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 5 ක මුදලක් දිය යුතු බවද, දැනුම් දී තිබෙනවා. සැකකරුවන් සිව්දෙනා බදුල්ල පොලිසියේ රඳවා තැබුණු අතර, අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.                                                             .

    මේ අතර, පෝලන්තයේ රැකියා දෙන බව පවසා, පුද්ගලයන් රැසක් අසර්බයිජාන් රාජ්‍යයේ අතරමං කළ ආර්යුවේද සමාගමක කළමනාකාරවරයෙකු ‍පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් ඔහු වංචාර කර ඇති බවයි, හෙළි වී ඇත්තේ.

    34 හැවිරිදි සැකකරු, වාද්දූව, මොරන්තුඩුව පදිංචිකරුවෙක්. මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදෙගේ මහතාට කළ පැමිණිල්ලක් අනුව, සිදු කළ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගැනුණා. පුද්ගලයන් 7 දෙනෙකුගෙන් මුදල් ලබා ගෙන ඇති සැකකරු, ඔවුන්ව අසර්බයිජාන් වෙත පිටත් කර යවා තිබෙනවා.

    රුපියල් ලක්ෂ 15 ක් වටිනා ඩොලර් රැගෙන එන ලෙස සැකකරු ඔවුන්ව දැනුවත් කර තිබුණා. අසර්බයිජාන් රාජ්‍යයේදී මෙම පුද්ගලයන් 7 දෙනා බාර ගත් එරට නියෝජිතයා ඩොලර් තොගය බාර ගෙන පෝලන්ත රැකියා අපේක්ෂිත පිරිස එරට අතරමං කර දමා පළා ගොස් ඇති බවයි, හෙළි වී ඇත්තේ. මාස කිහිපයක් තිස්සේ ඔවුන්, අසර්බයිජානයේ විවිධ ගැටලුවලට මුහුණ දෙමින් සිටින බව, වාර්තා වී තිබෙනවා.                

    මේ අතර, සංචාරක වීසා මත ශ්‍රී ලාංකික තරුණියන් ඕමානයට රැගෙන ‍ගොස් එරට ව්‍යාපාරිකයන් අලෙවි කළ බවට චෝදනා එල්ල වී ඇති සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ‍මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මොහොමඩ් රිස්වි නමැති සැකකරු, ජනාධිපති කාර්යාලයේ තුන්වැනි ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් මිනිස් ජාවාරමේ යෙදී සිට ඇති බවයි, හෙළි වී ඇත්තේ.

    ඉකුත් 19 වැනිදා අලුයම ඩුබායි සිට පැමිණි සැකකරු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණේ, මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයක් මතයි. කොළඹ, මරාදන ප්‍රදේශයේ බලපත්‍ර රහිතව පවත්වාගෙන ගොස් තිබූ විදේශ රැකියා නියෝජිත ආයතනයකින් හා තවත් ආයතන කිහිපයකින් මෙලෙස කාන්තාවන් ඕමානය වෙත පිටත් කර යවා තිබූ බව, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විමර්ශනයකින් හෙළි වී තිබෙනවා. මේ සම්බන්ධ පැමිණිලි 10 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත ලැබී තිබුණා.

    ඒ පිළිබඳ අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු සැකකරු පැමිණෙන අවස්ථාවේදීම අත්අඩංගුවට ගන්නා ලෙස, ආගමන විගමන දෙපාර්තමේන්තුවට අධිකරණය නියෝග කළා. මීට අමතරව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය ද ඕමානය වෙත ගොස්, විමර්ශනයක් ආරම්භ කළා.

    ඕමානය, අබුඩාබි හා ඩුබායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට අනුබද්ධ රැඳවුම් මධ්‍යස්ථානවල මෙලෙස අතරමං වූ හා පීඩාවන්ට ලක් වූ තරුණියන් හා කාන්තාවන් සමූහයක් තවදුරටත් රැඳී සිටිනවා. ඕමාන තානාපති කාර්යාලයේ නිලධාරියෙකුට ද මෙම මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News