සොර මුලේ පාසල් සිසුන් 2ක්

නොවැ 12, 2022

    තෙබුවන හොරණ ප්‍රදේශ රැසක නිවාස සහ වෙළඳසැල් බිඳුම් රැසක් සිදුකළ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයින් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් උපකරණ තොගයක් සමග අත්අඩංගුවට ගත්බව තෙබුවන පොලීසිය පවසයි.

    මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තෙබුවන , යටවර සහ දොබගොඩ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් පිරිසක් බව පොලිසිය කීය. අත්අඩංගුවට පත්වූවන් අතර 15 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු ද සිටින බව පොලිසිය කීය.

    මෙම සැකකරුවන් විසින් රාත්‍රී කාලයේ දී සහ දහවල් කාලයේදී සූක්ෂම ලෙස නිවාස වලට සහ වෙළඳසැල් වලට ඇතුලු වී මෙම සොරකම් සිදු කර ඇති අතර සවි කර තිබූ CCTV කැමරා ගලවා රැගෙන ගොස් ඒවා  විනාශ කර ඇත. වැඩිදුර විමර්ශන වලදී සඟවා තිබූ ජංගම දුරකථන 61 ක්, රූපවාහිනී 3 ක් , ග්‍රයින්ඩර් 14 ක්, බූෆර්6 ක්, වතුර මෝටරයක්, ගෑස් සිලින්ඩරයක්, රයිස් කුකරයක්, රේඩියෝ 6 ක් සහ රුපියල් 10400/- ක් සොයොගත් බව
    පොලිසිය කීය.

    සොරකම් කල භාණ්ඩ ත්‍රී රෝද රථයක පටවාගෙන ගොස් ඇති අතර , එම ත්‍රී රෝද රථය තම භාරයට ගත් බව පොලිසිය පවසයි. ඇතැම් සොරකම් කරන ලද භාණ්ඩ ප්‍රදේශයේ විවිධ පුද්ගලයින්ට අඩු මුදලට අලවි කොට තිබියදී  සොයා ගන්නා ලදී.

    සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිතව තිබුණි.

    Last modified on සෙනසුරාදා, 12 නොවැම්බර් 2022 11:56

    Latest News