හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක පාස්කු කොමිසමට සාක්ෂි ලබා දෙයි

නොවැ 17, 2020

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා තමන් දුරකථනයෙන් ඇමතු අවස්ථාවේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු නිදහස් කර ගැනීමේ යටි අරමුණක් තිබෙන්නට ඇතැයි, හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.

    අන්තර්ජාලය ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිට ජනාධිපති කොමිසමට සාක්ෂි ලබාදෙමින් හිටපු යුධ හමුදාපතිවරයා කියා සිටියේ රිෂාඩ් බදියුදින් මහතා එලෙස තොරතුරු විමසූ සැකකරු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නෙක් බවයි.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා එවකට යුධ හමුදාපතිවරයා වූ මහේෂ් සේනානායක මහතා අමතා සැකකරුවෙකු සම්බන්ධයෙන් විමසීමේ සිද්ධිය පිළිබඳව ඊයේ දින ජනාධිපති කොමිසම සාක්ෂි විමසනු ලැබුවා.

    ඒ සඳහා සාක්ෂිදීමට හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජනාධිපති කොමිසම හා සම්බන්ධ වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි අල් ආදා නගරයේ සිට අන්තර්ජාලය ඔස්සේයි.

    එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විමසා සිටියේ ඉකුත් වසරේ අප්‍රේල් 21 වන දින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කිසියම් තැනැත්තෙකු ඔබ අමතා අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් තොරතුරු විමසුවේද යන්නයි.

    " ප්‍රහාරයෙන් දින කිහිපයකට පස්සේ එවකට අමාත්‍යවරයෙකු වුන රිෂාඩ් බදියුදින් මහතා දුරකතනයෙන් මට කතා කළා.

    දෙහිවලින් අහමඩ් කියලා කෙනෙක්ව අත්අඩංගුවට ගත්ත කියලා ඇහුවා.

    පළවෙනි පාර මම කිව්වා මම එහෙම දෙයක් ගැන තාම දැනුවත් වෙලා නැහැ.

    සොයා බලලා කියන්නම් කියලා.

    පැය කිහිපයකින් නැවතත් කතා කරලා ඒ සැකකරු ගැනම ඇහුවා.

    ඇමතිවරයා ඒ වෙලාවේ මට කිව්වා ඒ අත්අඩංගුවට ගෙන තියෙන දරුවා මගේ යටතේ තියෙන අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක ලේකම්වරයෙක් හෝ සම්බන්ධිකාරකවරයෙක්ගේ පුතෙක්, මොකක්ද කරන්න පුළුවන් බලන්න කියලා.

    ඒ වෙද්දිත් මම ලොකු විස්තරයක් දැනුවත් වෙලා තිබුණේ නැහැ.

    පස්සේ තුන්වෙනි පාරටත් කතාකළා.

    ඒ වෙද්දි යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානින් ඒ අත්අඩංගුවට ගත් පුද්ගලයා ගැන දැනුවත් කරලා තිබ්බේ.

    ඒ නිසා මම සැරෙන් කිව්වා ඔබතුමා මට දැන් නෙමේ තව අවුරුදු එකහාමාරකින් කතා කරන්න කියලා.

    " යැයි හිටපු යුධ හමුදාපතිවරයා පිළිතුරුදුන්නා.

    එහිදි ජනාධිපති කොමිසමේ සභාපති අභියාචනාධිකරණය විනිසුරුවරයා " ඇයි ඔබ ඒ අවස්ථාවේදි ආවේගයෙන් කතා කළේ " යැයි විමසා සිටියා.

    එක රටම ගිනි අරගෙන තිබ්බ වෙලාවක්.

    සිද්ධියෙන් පස්සෙත් කවුරුත් හරියට පාලනය කළේ නැහැ.

    එක නිසා මම යම් ආවේගයකින් තමයි රාජකාරි වලට භටයන් යෙදෙව්වේ.

    එවැනි වෙලාවක ඒ අහපු ප්‍රශ්නය මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ තිබුණ දෙයක් නෙමේ යැයි හිටපු යුධ හමුදාපතිවරයා පැවසුවා.

    මොකක්ද ඔබ සිද්ධියෙන් පස්සෙත් කවුරුත් පාලනය කළේ නැහැ කියන එකෙන් අදහස් කළේ යැයි කොමිසමේ සභාපති විනිසුරුවරයා යළි විමසුවා.

    ප්‍රහාරයෙන් පස්සෙත් කිසිම සංවිධානාත්මක විදිහට පාලනය ක්‍රියාත්මක වුණේ නැහැ ස්වාමිනි.

    එබැවින් සෑම දෙයක්ම සිදුවුනේ හමුදාව අතින් යැයි ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පිළිතුරු දුන්නා.

    මෙහිී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා යළි ප්‍රශ්න කළේ ඔබ සිතන විදිහට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා එවැනි දුරකතන ඇමතුම් කිහිපයක් ඔබට ලබාදීමෙන් බලාපොරොත්තු වෙන්න ඇත්තේ මොකක්ද යන්නයි.

    යම් අත්අඩංගුවට ගැනීමකට පස්සේ යම් කෙනෙක් පොලිසියට හෝ හමුදාවට කතා කරනවානම් ඒ කතා කරන්නේ මුදාගැනීමකට.

    එතුමාගේ යටි හිතෙත් එහෙම දෙයක් තියෙන්න ඇති. නමුත් වගකිවයුතු නිලධාරියෙක් හැටියට ඒ වෙලාවේ මගෙන් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.

    " යැයි හිටපු යුධ හමුදාපතිවරයා පැවසුවා.

    මෙහිී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රචාරය වු ප්‍රවත්ති සාකච්ඡාවක් විවෘත කොමිසම හමුවේ වාදනය කරමින් ඔබ මෙම සිදුවීම ගැන කිසියම් මාධ්‍ය සාකච්ඡාවකී සඳහන් කළේ දැයි ප්‍රශ්න කළා.

    ඔව් දියකාවා මෙහෙයුම ගැන දැනුවත් කිරීමට තිබුණ ප්‍රවෘත්ති සාකච්ඡාවකදි මගෙන් මාධ්‍යවේදින් මේ ගැන ප්‍රශ්න කළා.

    කොහොමහරි අන්තීම අවස්ථාවේදි මම අවුරුදු එකහාමාරකින් කතාකරන්බ කිව්වට පස්සේ ඒ අමාත්‍යවරයා මට නැවත ඒ සැකකරු ගැන අහන්න කතා කළේ නැහැ.

    නමුත් මැයි හෝ ජුනි මාසෙදි මුස්ලීම් පල්ලිවලට පහරදීම් සිද්ධවෙනවා කියලා ඒ ඇමතිවරයා නැවත වරක් මට කතා කළා යැයි හිටපු යුධ හමුදාපතිවරයා පැවසුවා.

    කෙසේ වෙතත් මින් අනතුරුව හිටපු යුධ හමුදාපතිවරයාගෙන් ජනාධිපති කොමිසම වැඩිදුරටත් සාක්ෂි විමසනු ලැබු අතර එම සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත වුයේ නැහැ.

    Latest News