අගමැති ධුරයට එරෙහි පෙත්සම විභාගය සඳුදාට

නොවැ 30, 2018

    මහින්ද රාජපක්‍ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නිත්‍යානුකූල අයිතියක් නොමැති බැවින්, අගමැති සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ පත්වීම් බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස අභියාචනාධිකරණයට අද ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණා.

    ඒ පිළිබඳ විරෝධතාව ඇතුළත් ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබුවේ පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා විසින්. පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු 49 දෙනෙකු නම් කර තිබෙනවා.

    පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කණගීස්වරන් මහතා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව, සඳහන් කරමින් යෝජනා දෙකක් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් සම්මත වී ඇති බවයි.

    පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නම්කර ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා පෙත්සම්කරුවන් විසින් සඳහන් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව විධිමත් ආකාරයට සම්මත වී නොමැති බව කියා සිටියා. එම නිසා, අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසයි, ජනාධිපති නීතිඥ මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    පෙත්සමේ තවත් වග උත්තරකරුවන් පිරිසක් ලෙස චමල් රාජපක්‍ෂ, දිනේෂ් ගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් නම් කර තිබෙනවා. ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ, ජනාධිපති නීතිඥ රොමෙෂ් ද සිල්වා මහතායි. ඔහු කරුණු දක්වමින්, විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව කියන හැන්සාඩ් වාර්තාවේ අන්තර්ගත තොරතුරු අසත්‍ය හා සාවද්‍ය බව ප්‍රකාශ කළා.

    එවැනි අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු අන්තර්ගත හැන්සාඩ් වාර්තා පදනම් කරගෙන අධිකරණයට නියෝගයක් නිකුත් කළ නොහැකි බවට ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ තර්ක කළා. පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබුණා.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...

    Last modified on සිකුරාදා, 30 නොවැම්බර් 2018 20:30

    Latest News