ශ්‍රී ලංකා ජනමාධ්‍ය කලාවේ ප්‍රථම ඒඅයි මෙහෙයුම

මැයි 06, 2024

    ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයට ඒඅයි නිවේදකයින් දෙදෙනෙක්.

    ලෝකය පුරා වර්තමානයේ අති නවීනතම සහ ප්‍රමුඛතම තාක්ෂණික මෙහෙයුමක් වන්නේ, මිනිසාගේ  කටයුතු පහසු කර ගැනීමට ඒඅයි තාක්ෂණය යොදා ගැනීමයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙරට විද්‍යුත් මාධ්‍යයේ ප්‍රථම වරට  ඒඅයි තාක්ෂණය  ඇසුරින් පසුගියදා ප්‍රවෘත්ති විශේෂාංගයක් ඉදිරිපත් කළා. දිවයින පුරා මෙන්ම ලෝකය පුරා විසිරි සිටින රූපවාහිනී ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගෙන් ඊට හිමිවුයේ අතිශයින්ම ඉහළ ප්‍රතිචාරයක්.

    එතෙකින් නොනැවතුනු ජාතික රූපවාහිනිය ඒඅයි තාක්ෂණය භාවිතා කිරීම තවදුරටත් පුළුල් කරමින් රූපවාහිනි රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයට  ප්‍රථමවරට ඒඅයි නිවේදකයින් දෙදෙනෙකු යොදා ගනිමින් ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති අංග ගණනාවක් ඉදිරිපත් කරමින් ඒඅයි තාක්ෂණයේ නවතම අද්දැකීම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් අතරට තවදුරටත් රැගෙන ගියා. මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙවැන්නක් සිදු වූයේ ලොව ප්‍රථමවරටයි. මෙය රූපවාහිනී සංස්ථාවේ වත්මන් සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතාගේ පූර්ණ මග පෙන්වීම සහ ජාතික රූපවාහිනියේ සම්මානීය නිෂ්පාදකවරයෙකු වන ගාමිණි බණ්ඩාර  මැණික්දිවෙල මහතාගේ කැපවීමක ප්‍රථිඵලයක්.

    ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල මහතා ඒඅයි තාක්ෂණය සම්බන්ධයෙන් පසුගිය කාලසීමාවේ ඩුබාහි පැවති විශේෂ පුහුණුවකට එක්වෙමින් ඒ පිළිබඳ හසල දැනුමක් ලබා සිටින නිෂ්පාදකවරයෙක්. එම දැනුම මේ වනවිට මෙරට විද්‍යුත් මාධ්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් ලබා දෙමින් සිටිනවා.

     ජාතික රූපවාහිනියේ ප්‍රධානතම ප්‍රවෘත්ති නිවේදකයින් යුවළක් වන චමින්ද ගුණරත්න සහ නිශාදි බණ්ඩාරනායක ඊයේ රාත්‍රී ඒඅයි තාක්ෂණික මෙහෙයුමට ගොනු කරමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කෙරුණු දර්ශන කාටත් දැක බලාගැනීමට හැකිවුණා. ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඉතිහාසය තුළ ‍මෙවැන්නක් සිදු වුයේ ප්‍රථමවරටයි. එහි අභිමානය ද සමඟ නිවැරදි මාධ්‍ය කලාවක නිල මුද්‍රාව ලෙස ජාතික රූපවාහිනිය ඒඅයි තාක්ෂණික මෙහෙයුමේ නවතමම ප්‍රවනතාවන්  ඉදිරියටත් ප්‍රේක්ෂකයින් අතරට ගෙන ඒමට සුදානම්. 

    ලෝකයේ සියලු ක්ෂේත්‍ර සිසාරා පැතිරෙන ඒඅයි තාක්ෂණය මිනිසාට සැබෑම අභියෝගයක් වෙයිද? ශ්‍රී ලංකාව වැනි රටවලට එහි බලපෑමේ තරම කෙතරම්ද? ජාතික රූපවාහිනිය මේ ගැනත් අවධියෙන් සිටිමින් ප්‍රේක්ෂක දැනුම පුළුල්  කිරීමට සුදානම්.

    Last modified on සදුදා, 06 මැයි 2024 08:54

    Latest News