පිරමීඩ මුදල් ආයෝජකයන්ට සුබ ආරංචියක්

මැයි 02, 2024
    ඔන් මැක්ස් ඩී.ටී පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට  අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ  මහතා  අද අදාල සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කළා.
    මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇපමත මුදා හැර සිටින ඔන් මැක්ස් සමාගමේ අධ්‍යක්ෂවරු හතර දෙනාද අදිකරණයේ පෙනී සිටියා. 
     
    මෙහිදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව පැමිණිලි 345  පමණ ලැබී තිබෙන බව සඳහන් කළා.
     
    ඊට අමතරව සිද්ධියට පුද්ගලයින් ගණනාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙන බවත් ඔවුන්ගෙන් හය දෙනෙකු විදේශගත වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදිකරණයෙන් ඉල්ලා සිටියා.
     
    එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ පුද්ගලයින් හය දෙනා විදේශගතවීම වළක්වාලමින් නියෝගයක්ද නිකුත් කළා. 
     
    වැඩිදුරටත් කරුණු දැක්වූ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ  මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර අධ්‍යක්ෂවරයකුගේ භාරයේ තිබී ඕන් මැක්ස් පිරමීඩ ආයෝජන සැලැස්මට අදාළ ලේඛන සොයාගෙන තිබෙන බවත් ඒවා රජයේ සැකකටයුතු අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා. 
     
    එම ඉල්ලීමද පිළිගත්  මහේස්ත්‍රාත්වරයා අදාල ලේඛන රජයේ සැක කටයුතු අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස කලා. 
     
    මෙහිදී මහේස්ත්‍රාත්වරයා විත්තියේ නීතිඥවරු අමතා අගතියට පත් තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට හැකියාවක් තිබේදැයි විමසුවා. 
     
    ඊට පිළිතුරු දුන් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ අනුර මැද්දෙගොඩ යන මහත්වරු සඳහන් කර සිටියේ තම  සේවා දායකයින්ට අයත් බැංකු ගිණුම්, නිශ්චල හා චංචල දේපළ සියල්ල අධිකරණය විසින් තහනමට ලක් කොට ඇති නිසා එම මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවයි. 
     
    අදාළ තහනම ඉවත් කරන්නේ නම් මාස හයක් තුළ  සියලු තැන්පතු මුදල් ආපසු ගෙවීමට හැකියාව තිබෙන බවත් විත්තියේ නීතිඥවරු පෙන්වා දුන්නා.
     
    එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විත්ති පාර්ශවයට දැනුම් දුන්නේ අගතියට පත් තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ විධිමත් සැලැස්මක් සකස් කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. 
     
    එම මුදල් ආපසු ගෙවීමේ සැලැස්ම අධ්‍යයනය කොට එය ක්‍රියාත්මක කළ හැකි මට්ටමක පවතින්නේ නම් මහ බකුවේ සහ
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ දැනට පනවා තිබෙන බැංකු ගිණුම් හා දේපළ සම්බන්ධ තහනම ඉවත් කිරීමට තිබෙන හැකියාව සොයා බලන බවත්  මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා. 
     
    මෙහිදී විත්ති පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තැන්පත්කරුවන්ගෙන් එල්ලවී තිබෙන තර්ජන හේතුවෙන් තම සේවාදායකයින්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බව සඳහන් කළා. 
     
    පසුගිය නඩු වාරයකදී අධිකරණය ඉදිරිපිට සැකකරුවන්ට පහර දීමට ඇතැම් තැන්පත්කරුවන් උත්සාහ කළ බව සඳහන් කළ ඔවුන්ගේ නීතිඥවරු මේ සම්බන්ධයෙන් ඔවුන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවත් අධිකරණය හමුවේ දැනුම් දුන්නා. 
     
    තවත් අවස්ථාවක අධිකරණය ඉදිරිපිටදී ම විශාල පිරිසක් තම සේවා දායකයින්ව පැහැරගෙන යාමට උත්සාහ කර ඇති බවත් විත්තියේ නීතිඥවරු අදිකරණයට දන්වා සිටියා.
     
    මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ සැකකරුවන් වාර්තා කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවට පැමිණෙන අවස්ථාවේදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසයි.
     
    ඉන් අනතුරුව පැමිණිල්ල මේ මස 28 වනදා යළි කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින අදාල මුදල් ආපසු ගෙවීමේ වැඩ පිළිවෙල අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.
     
     
     

    Latest News