එක රැයින් වාර්තා තැබූ මැඩෝනාගේ බ්‍රසීලයේ සංගීතේ

මැයි 09, 2024

    මෑත කාලයේ සංගීත ප්‍රසංගයකට සහභාගී වූ දැවැන්තම ජන ගඟ පසුගිය 04 වනදා රාත්‍රියේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ හි කොපකාබානා වෙරළට රැස් වූයේ වසර 12 කට පසු සජීවී වේදිකාවක් මත අමෙරිකානු පොප් රැජිණගේ ගැයුම්, වැයුම්, රැඟුම් නරඹන්නටයි.

    65 හැවිරිදි මැඩෝනා ලුවිස් සිකන් වෙනුවෙන් රියෝ නගරයට ආ නරඹන්නන් පිරිස මිලියන 1.6 ක් බව ගණන් බලා තිබේ. නොමිලේ පැවැත්වූ මෙම ප්‍රසංගය සඳහා නගර පාලකයින් ඇ.ඩො. මිලියන 3.69ක මුදලක් වැය කර තිබේ.

    මෙය මැඩෝනාගේ 40 වසරක කලා දිවියේ ඇගේ ප්‍රසංගයක් සඳහා සහභාගී වූ වැඩිම ජනකාය බවද වාර්තා වේ.

    එමෙන්ම විශාල පොප් සංදර්ශන සම්බන්ධයෙන් කොපකබානා වෙරළට දිගු ඉතිහාසයක් ඇත. 2006 දී, ද රෝලිං ස්ටෝන්ස් එහි මිලියන 1.5 ක් පමණ රසික රසිකාවියන් වෙනුවෙන් ප්‍රාසාංගික වුනු අතර, 1994 වසරේදී රොඩ් ස්ටුවර්ට්ගේ අලුත් අවුරුදු සංදර්ශනය සඳහා මිලියන 4.2 ක පමණ පිරිසක් සහභාගී වූ බව වාර්තා වල සඳහන් වනවා.

    සෙල්සියස් අංශක 30 කට වැඩි උෂ්ණත්වයකින් බ්‍රසීල වැසියෝ මේ දිනවල පීඩා විඳින බැවින් පැමිණි සියලු ප්‍රේක්ෂකයින් සඳහා නොමිලේ ජල බෝතල් පවා බෙදා හැරීමටද රියෝ ද ජැනයිරෝ පාලනාධිකාරියට සිදු වුනා.

    පසුගිය සතිය පුරා අමතර ගුවන් වාර 170ක් පමණ ක්‍රියාත්මක කිරීමට අගනුවර ගුවන්තොටුපල නිළධාරීන්ට සිදු වූ අතර දළ වශයෙන් ඇ.ඩො.මිලියන 57 ඉක්මවූ ආදායමක් ලැබෙන්නට ඇතැයි ගණන් බලා තිබෙනවා.

    අවසන් ප්‍රසංගයේ පැය 2කට අධික කාලයක් ගී ගයමින්, බ්‍රසීල කලාකරුවන් වන ඇනීටා සහ පබ්ලෝ විටර් හටද වේදිකාවේ අවස්ථාව ලබා දෙමින් මැඩෝනා සිය ලොව වටා සංගීත චාරිකාවේ බ්‍රසීල ප්‍රසංග මාලාව අවසන් කළා.

    Latest News