ෆොන්සේකාට එරෙහිව සජබය ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම සළකා බැලීමට දින දෙයි

මැයි 06, 2024
    සමගි ජන බලවේගයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු විසින් දරන තනතුරුවලින් ඒ මහතා ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය අත් හිටුවන තීන්දුවක් ලබාදෙන ඉල්ලා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 21 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය දින නියම කළා.
    මෙම පෙත්සම අද සලකා බැලීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
    එහිදී විනිසුරුවරයා නියෝග කළේ අදාල පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 21 වැනිදා කැඳවන ලෙසයි.
    සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
    හිටපු හමුදාපතිවරයකු වන දයා රත්නායක මහතා සමගි ජන බලවේගයට එක් කරගැනීම සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශ වලින් පසුව සිය පක්ෂ සමාජිකත්වය හා පක්ෂය තුළ තමන් දරන තනතුරුවලින් ඉවත් කිරීමට සමගි ජන බලවේගයේ නායකයින් සූදානම් වන බවට සරත් ෆොන්සේකා මහතා විසින් පැවරූ නඩුවක් විභාග කළ කොළඹ දිසා අධිකරණය සරත් ෆොන්සේකා මහතා එම තනතුරු වලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.
    එම වාරණ නියෝගය ඉවත් කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් කළ ඉල්ලීමක්ද කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
    කොළඹ දිසා අධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව අදාල තීරණය ප්‍රතිශෝධනය කොට සරත් ෆොන්සේකා මහතා විසින් ලබාගත් වාරණ නියෝග අත්හිටුවීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News