අගමැතිට,ඇමති මණ්ඩලයට එරෙහි අභියාචනාධිකරණ තීන්දුව තවදුරටත් ක්‍රියාත්මකයි

දෙසැ 14, 2018
    මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති තහනම් නියෝගය අත්හිටුවන්නැයි කෙරුණු ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව ප්‍රතික්ෂේප කළේය.
    අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ විශේෂ අභියාචනා පෙත්සමක් අද දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය කෙරිණි.
    ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළේය.
    එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ අභියාචනය විනිසුරු මඩුල්ල බහුතරය විනිසුරුවරුන්ගේ එකඟත්වය මත විභාග කිරීමට අවසර දුන් අතර එම විභාගය ජනවාරි මස 16 ,17 සහ 18 යන දිනවල පවත්වන බවයි නියම කළේ.
    ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වෙන අභියාචනා විභාගය අවසන් වනතුරු අභියාචනාධිකරණය හමුවේ ප්‍රශ්න නඩු විභාගය අත්හිටුවනවා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණය වෙත තවත් නියෝග නිකුත් කළේය.
    මෙම අභියාචනා පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වීමට අවශ්‍ය නම් ඊට අදාළ ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත යොමුකරන ලෙසයි විනිසුරුවරුන් පාර්ශවකරුවන්ට දැනුම් දුන්නේ.
    පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අභියාචනාධිකරණය මගින් නිකුත් කර ඇති  තහනම් නියෝගය මුළුමනින්ම ප්‍රායෝගික නොවන නීතියට අනුකූල නියෝගයක් නොවන බව ප්‍රකාශ කළා.
    අභියාචන අධිකරණය නිකුත් කළ තහනම් නියෝගය නිසා අග්‍රාමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට තම තනතුරු දැරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ඒ තුළින් රටට විශාල අගතියක් සිදුවන බවත් පෙන්වා දුන්නේය.
    අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ පාර්ලිමේන්තුව තුල සම්මත වූ බව කියන විශ්වාසභංග යෝජනා  විධිමත් ආකාරයට සම්මත වී නොමැති බවයි.
    විධිමත් ස්ථාවර නියෝගවලට අනුකූලව අදාළ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඒවා සම්මත වී ඇති ආකාරයත් දැඩි ගැටලු සහගත බවයි කියා සිටියේ.
    අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු අත්හිටුවා තිබෙන මෙම අවස්ථාවේ මුළු රටම අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මේ හේතුවෙන් අභියාචනාධිකරණය මගින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය අත් හිටුවන අතුරු  නියෝගයක් නිකුත් කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා සිටියේ.
    වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වග උත්තරකාර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ kanag-iswaran මහතා සඳහන් කර සිටියේ අභියාචනාධිකරණය විසින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් තනතුරු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝග නිකුත් කළේ කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව බව සඳහන් කළේය.
    අසම්පූර්ණ හැන්සාඩ් වාර්තා පදනම් කරගෙන අභියාචනාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළ බවට පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කරන තර්කය පිළිගත නොහැකි බව සඳහන් කළ kanag-iswaran ජනාධිපති නීතිඥවරයා පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ලේඛනයක් අධිකරණයක් හමුවේ ප්‍රශ්න කළ නොහැකි බවද කියා සිටියි.
    පාර්ලිමේන්තුව තුල සම්මත වී තිබෙන විශ්වාසභංග යෝජනා දෙකකට අදාළව කතානායකවරයා විසින් අත්සන් කොට ඇති  හැන්සාඩ් වාර්තා පෙත්සම්කාර පාර්ශවය විසින්  අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ ද පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ එය අධිකරණය හමුවේ ප්‍රශ්න කළ නොහැකි බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.
    වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි සෙසු නීතිඥවරුද එම කරුණු තහවුරු කරමින් අදහස් ඉදිරිපත් කළ අතර ඔවුන් අවධාරණය කර සිටියේ අභියාචනාධිකරණය මගින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කිරීම සදහා කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.
    මේ අතර අදාළ අභියාචන පෙත්සම්. පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස කෙරුණු ඉල්ලීමක්  ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
    පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ මෝසමක් මාර්ගයෙන්  අදාළ ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි. එම ඉල්ලීම අද ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුවා.
    එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කනගඊශ්වරන් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම අභියාචනා පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සම්බන්ධ ඉතා වැදගත් නඩු කටයුත්තක් බැවින් එය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීම සුදුසු බව පෙන්වා දුන්නේය.
    එම ඉල්ලීමට විරෝධය පළකළ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට  අනුව මෙම පෙත්සම් විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්  අවශ්‍ය නොවන බව කියා සිටියේය.
    මේ ආකාරයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටිය හැක්කේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක දී පමණක් බව සඳහන් කළ එම නීතිඥවරුන් අභියාචනා නඩු විභාගවලදී එසේ ඉල්ලීම් කළ නොහැකි බවයි වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ඊවා වනසුන්දර ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලා ගොනුකරන ලද  ඉල්ලීම  ප්‍රතික්ෂේප කර එම පෙත්සම් තමන් ඉදිරියේ විභාගයට ගැනීමට තීන්දු කළේය.
    මේ අතර අදාළ අභියාචනා පෙත්සම් ඊවා වනසුන්දර විනිසුරුවරිය නොමැති විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නැයි ඉල්ලමින් මෝසමක් ඉදිරිපත් කර ඇති බව වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණයට දැන්වීය.
    ඊට ප්‍රතිචාර දක්වමින් ඊවා වනසුන්දරවරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ අද දිනය තමාගේ 40 වසරක රාජකාරි දිවියේ අවසන් දිනය බවයි.
    අධිකරණය හමුවට පැමිණෙන සෑම නඩුවක්ම තමන් එක හා සමාන සේ සලකා විභාග කර ඇතැයි සඳහන් කළ වනසුන්දර විනිසුරුවරිය පුද්ගලයින්ගේ මුහුණු බලා තමා නඩු තීන්දු ලබා දී නොමැති බවත් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය.
    Last modified on සිකුරාදා, 14 දෙසැම්බර් 2018 18:25

    Latest News