රජයේ සේවකයන් යහපත් මානසිකත්වයකින් යුතු තෘප්තිමත් සේවාවක සලසාදීම අපේක්ෂාව..... ජනාධිපති

අගෝ 16, 2019

    පොලිස් නිලධාරින් ඇතුළු සියලූ රජයේ සේවකයන් වෙත යහපත් මානසිකත්වයකින් යුතුව තෘප්තිමත් සේවාවක නිරතවීමට අවස්ථාව සලසාදීම තම අපේක්ෂාව බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ පොලිස් නිලධාරින් සඳහා සුබසාධන පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරිව ඉදිකරන ලද මරදාන තනිකඩ භට නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (16) පස්වරුවේ එක් වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ සියලූ රාජ්‍ය නිලධාරින්ට රාජකාරීමය වශයෙන් මෙන්ම පෞද්ගලික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ද අවශ්‍ය පහසුකම් සැපයීම තුළින් උපරිම සහ ඵලදායි මහජන සේවාවක් ජනතාවට හිමිවන බවයි.

    පොලිස් දෙපාර්තමේන්තුවේ පහළ ශ්‍රේණිවල නිලධාරින්ගේ ගැටලූ විසඳීමට තමා විෂය භාර අමාත්‍යවරයා ලෙස පියවර රැසක් ගත් බව සඳහන් කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ උසස්වීම් සහ දීමනා පිළිබඳ ගැටලූවට ද කඩිනමි විසඳුම් ලබාදෙන බව කියා සිටියේය. ඒ සඳහා සුදුසුකම් ලබා ඇති විශාල පිරිස හේතුවෙන් එකවර එම ගැටලූව විසඳීම අසීරු වුවත් කාණ්ඩ 03 ක් යටතේ එම ගැටලූව කඩිනමින් විසදීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

    මහල් 10කින් සමන්විත මෙම නිවාස සංකීර්ණය නිලධාරින් 1174 දෙනෙකු හට නවාතැන් පහසුකම් සපයා තිබෙන අතර සියලූ පහසුකම්වලින් සමන්විතව ඉදිකර තිබෙන නිවාස සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 350කි. 

    සමරු ඵලකය නිරාවරණය කර නිවාස සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

    මේ අතර පොලිස් නිලධාරින් සඳහා සුබසාධන පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණ පෙරදැරිව ඉදිරන ලද මට්ටක්කුලිය වෙරළබඩ විවාහක පොලිස් නිල නිවාස සංකීර්ණය අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    මහල් 11 කින් යුත් මෙම නිවාස සංකීර්ණය විවාහක නිල නිවාස 60කින් සමන්විත අතර පොලිස් පරික්ෂකවරුන් සඳහා නිවාස 18ක් ද, ඉන් පහළ ශ්‍රේණි සඳහා සෙසු නිවාස ද පිරිනමා තිබේ. සියලූ පහසුකම්වලින් සමන්විත එම නිවාස සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 407කි.

    සමරු ඵලකය නිරාවරණය කර එම නිවාස සංකීර්ණය ද විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක නිරත වූ අතර නිවාසලාභියෙකු වෙත යතුර ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මෙම අවස්ථාව සනිටුහන් කරමින් නිවාස සංකීර්ණ පරිශ‍්‍රයේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, වැඩ බලන පොලිස්පති සි.ඞී. වික‍්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News