විජයදාසට එරෙහි නඩුවේ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

මැයි 16, 2024

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාත් ,වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත් පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය මත එම පක්ෂය, එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

    කෙසේ වෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවත් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ප්‍රකාශ කළා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුවයි, දිසා විනිසුරුවරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේ.

    දිසා විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ හතරවන සහ පස්වන විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අය පදනම් කරගෙන මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන බවයි.

    එම විත්තිකරුවන්ගේ පදිංචිය වශයෙන් කොළඹ ටී.බී. ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය නම්කර තිබෙන බව අතර ඒ තුළින් ඔවුන්ගේ පදිංචිය තහවුරු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නා.

    මේ ආකාරයෙන් පදිංචිය තහවුරු කර නොමැති අවස්ථාවක සිවිල් නඩු නිධාන සංග්‍රහයේ 46(2) වගන්තිය යටතේ පැමිණිල්ලක් නිෂ්ප්‍රබ කිරීමට හෝ එය සංශෝධනය කර ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දිය හැකි බවත් විනිසුරුවරයා සඳහන් කළා.

    ඒ අනුව මෙම පැමිණිල්ල සංශෝධනය කර යලි වාරණ නියෝග සඳහා කරුණු තහවුරු කිරීමට පැමිණිල්ලට අයිතිය ලබාදෙමින් පැමිණිල්ල විසින් ඉල්ලා සිටි වාරණ නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා කියා සිටියා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

    පැමිණිලිකරු කියා සිටින්නේ ඉකුත් 12 වැනිදා පැවැත්වූ බව කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී ත පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා සහ වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතා පත් කර ගැනීමට ගනු ලැබූ තීරණ සම්පූර්ණයෙන්ම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවයි.

    එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත්කර ගැනීමට ගනු ලැබූ තීරණ මත එම පක්ෂය හා එහි සංවිධාන මෙන්ම නිලධාරීන් කටයුතු කිරීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණා.

    ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ වැඩ බලන ලේකම් දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

    ඊට අමතරව විජයදාස රාජපක්ෂ හා කීර්ති උඩවත්ත යන මහත්වරු පක්ෂයේ නිලතල සඳහා පත්කර ගැනීමට ගනු ලැබූ තීරණ බල ශූන්‍ය බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 මැයි 2024 10:51

    Latest News