කොවිඩ් ව්‍යාප්තිය ලොවට හෙළි කළ මාධ්‍යවේදිනිය සිර දඬුවමින් නිදහස්

මැයි 15, 2024
    චීනයේ වූහාන් නුවර කොවිඩ් වසංගතයේ ව්‍යාප්ත වූ මුල් දිනවලදී එය රූගත කර ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් වසර 4ක සිර දඬුවම් විඳිමින් සිටි චීන මාධ්‍යවේදිනිය නිදහස ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
    හිටපු නීතිඥවරියක වන ෂං ෂාන් නමැති එම මාධ්‍යවේදිනිය වසර 2020 මැයි මාසයේදී අත්අඩංගුවට පත්වී ඇත්තේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය පිළිබඳ චීන රජයේ ප්‍රතිචාර සොයා බැලීම සඳහා වූහාන් නගරයට ගොස් එහි තොරතුරු වීඩියෝ ගතකර සමාජ මාධ්‍යජාලයට මුදා හැරීම හේතුවෙන්.
    සිරගතව සිටින අතරතුර ඇය නිදහස වෙනුවෙන් උපවාසයක නිරතව සිටි බවත්, එම වසරේ සැප්තැම්බර් මාසය වන විට ඇය දුර්වල තත්ත්වයෙන් පසුවූ බවත් ඇගේ සහායක නීතිඥවරියක ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.
    වුහාන් නුවරට ගොස් කොවිඩ් වසංගතය පිළිබඳ ගවේෂණයක නිරත වීම සිර දඬුවමට ලක්වීමට ඇය විසින් සිදු කරනු ලැබූ අපරාධය බව ඇයට දඬුවම් නියම කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළ බව ද ඇගේ සහායක නීතිඥවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
    සිර දඬුවමින් නිදහස් වුවද, මාස තුනක පමණ කාලයක් ගතවනතුරු ඇයට කිසිදු පුද්ගලයකු සමඟ සම්බන්ධතා පැවැත්වීමටත්, බාහිර ලෝකය සමඟ කටයුතු කිරීමටත් අවසර නොලැබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    Latest News