භාණ්ඩාගාරයේ නැති වී ගිය ගෞරවය යළි ගොඩනැංවිය යුතුයි.. නව භාණ්ඩාගාර ලේකම් (වීඩියෝ)

නොවැ 20, 2019

    පැහැදිලි ජන වරමක් සහිතව රටට නව දැක්මකින් යුක්තව නායකත්වයක් ලැබී ඇති මේ මොහොතේ භාණ්ඩාගාරයේ නැති වී ගිය ගෞරවය යළි ගොඩනැංවීමට පෙරට ආ යුතු බව නව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.

    රාජ්‍ය ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ සුබ සාධනය මත පදනම්ව රට ඉදිරියට රැගෙන යාම සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කරයි. අද (20) භාණ්ඩාගාරයේ ලේකම් ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් ආටිගල මහතා මේ බව පැවැසීය.

    පැහැදිලි ජනවරමකින් රටට නව දැක්මක් සහිත නායකත්වයක් ලැබී දේශීයත්වයේ සුවඳ දැනෙන රාජ්‍ය නායකෙයකු යටතේ රාජ්‍ය ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ සුබසාධන මත පදනම් ව සියලු දෙනා ඇතුළත් කොට රට ඉදිරියට ගමන් කිරීම සඳහා පියවර ගන්නා බව ආටිගල මහතා පැවැසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.ආර්.ආටිගල මහතා...

    "අමාත්‍යාංශයේ සියලු දෙපාර්තමේන්තු අතර නිවැරැදි සහසම්බන්ධතාවක් පවත්වාගෙන යායුතු ය. ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් යම් කටයුත්තක් සඳහා මුදල් වෙන් කරද්දී එම මුදල් ලබා දීමට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට ඇති හැකියාව ද ඒ අවස්ථාවේදීම අනාවරණය කර ගත යුතු ය. මෙවැනි සහසම්බන්ධතා නිසා පහසුවෙන් භාණ්ඩාගාරය ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. මෙහි දී ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ භූමිකාව ද වැදගත් බව සිහිපත් කළ යුතු ය.

    හිත ඇත්නම් පත කුඩා ද යන පැරැණි කියමනට අනූව යමින් අපට මේ රට වැටී ඇති තැනින් රට ගොඩගැනීමට අප සියලු දෙනා උත්සහ කරමු. එය කළ හැකි ය යන්න මාගේ විශ්වාසයයි. ඒ හරහා ජනාධිපතිතුමාගේ සංකල්පය වන රාජ්‍ය ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ සුබ සාධනය සඳහා රටේ සියලු කොටස් ඇතුළත් කර ගත යුතු ය.”

    භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය, නියෝජ්‍ය ලේකම්වරු වන ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, ඒ.කේ. සෙනෙවිරත්න යන මහත්වරු සහ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක් වූහ. මීට අමතරව වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 20:20

    Latest News