වාහන ආනයනය කර මුදා නොගත් වාහන හිමියන්ට සහනයක්

සැප් 24, 2019

    2015 සිට 2017 නොවැම්බර් දක්වා පුද්ගල පරිහරණයට ආනයනය කර, මෙතෙක් නිශ්කාශනය කරගත නොහැකිව හම්බන්තොට වරායේ රඳවා ඇති වාහන අයිතිකරුවන් හට එම වාහන නිශ්කාශනය කිරීම සඳහා සහන කාලයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව, තම පුද්ගලික පරිහරණය සඳහා තනි පුද්ගලයන් විසින් ආනයනය කිරීම සහ අදාළ ණයවර ලිපි ඔවුන්ගේ නමින් විවෘත කර ඇත්නම් සංශෝධිත බදු නොසලකා ණයවර ලිපි විවෘත කරන ලද අවස්ථාවේ පැවැති නිෂ්පාදන බද්ද ගෙවා එම වාහන නිශ්කාශනය කිරීමට අවසරය දී ඇත.

    වාහන ආනයනය කරණ සමාගමක් හෝ නියෝජිත ආයතනයක් හරහා වාහනයක් ආනයනය කර ඇති බවට තහවුරු කළ හැකි පුද්ගලයින් ද එම සහන හිමිවේ. වාහනය ආනයනය කිරීම සදහා ණයවර ලිපි විවෘත කළ අවස්ථාවේ පැවැති නිෂ්පාදන බද්ද පමණක් ගෙවා තම වාහන නිශ්කාශනය කර ගැනීම සඳහා වන අයදුම්පත්‍රය මහ භාණ්ඩාගාරයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ඔක්තෝබර් 31 වන දිනට පෙර යොමුකරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

    යෝජිත මෙම බදු සහන යටතේ ශ්‍රී ලංකා රේගුවෙන් නිශ්කාශනය කරනු ලබන සියලුම මෝටර් රථ රේගුවෙන් නිදහස් කළ දින සිට දින 30 ක් තුළ වාහනය ආනයනය කළ පුද්ගලයන්ගේ නමට ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.

    රජය මගින් පිරිනමා ඇති මෙම සහන පිළිබඳ වැඩි විස්තර, 2019 අගෝස්තු 08 වන දින අංක 2135/55 දරණ ගැසට් නිවේදනය මගින් සංශෝධිතපරිදි 2019 අප්‍රේල් 04 දින නිකුත් කරන ලද 2117/48 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන්ව ඇත.

    Latest News