මෙරට ණය තිරසරභාවය කඩිනමින් ළඟා කර ගැනීමට අපේක්‍ෂා කරනවා - ජනපති

අප්‍රේ 14, 2023

    ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සමග අද ආරම්භ කළ නව ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ තුළින් මෙරට ණය තිරසරභාවය කඩිනමින් ළඟා කර ගැනීමට අපේක්‍ෂා කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එම රටවල් 3 සමග පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවට මාර්ගගත ක්‍රමවේදයට සම්බන්ධ‍ වෙමින්.

    අමෙරිකවේ වොෂින්ටන්හි පැවැත්වෙන ලෝක බැංකුවේ සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්ෂික වසන්ත සැසිවාරය අතරතුරයි, මෙම මාධ්‍ය හමුව පැවැත්වුණේ. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ වඩාත් සාර්ථක සහ විනිවිද භාවයකින් යුතුව සිදු කිරීම රජයේ අපේක්‍ෂාව බවයි. ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සඳහන් කළේ, ශ්‍රී ලංකාව, ණය හිමි රටවල් සමග ඉතා සමීපව සහ අ‍වබෝධයෙන් යුතුව ක්‍රියා කළ යුතු බවයි. ඒ තුළින් කඩිනමින් ණය තිරසර භාවය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බව, ඇය කියා සිටියා.

    මෙහිදී අදහස් දැක්වූ ජපාන මුදල් අමාත්‍ය සුනිචි සුසුකි ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගකරණය සම්බන්ධයෙන් ණය හිමි රටවල් මෙලෙස එකම වේදිකාවකට රැගෙන ඒමට හැකි වීම ඓතිහාසික ජයග්‍රහණයක් බවයි. ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ඒකාබද්ධව අද ආරම්භ කළ මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ පොදු වේදිකාවක් බවත්, ඊට ඕනෑම ණය හිමි රටකට එක් විය හැකි බවත්, ජපාන මුදල් අමාත්‍යවරයා කියා සිටියා. සාකච්ඡාවට එක්ව සිටි අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ කෙන්ජි ඔකමුරා මහතා පැවසුවේ ණය තිරසර භාවය යථාතත්වය පත් කිරීම සඳහා කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය අතර, ඊට ණය හිමියන්ගේ සහය ද අත්‍යවශ්‍ය බවයි.

    Latest News