ප්‍රදේශ රැසකට අදත් මිලිමීටර් 75ට වැඩි වැසි

ඔක් 17, 2022

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ප්‍රධාන ගංඟා කිහිපයක ඇතැම් ප්‍රදේශවල පැවති ගංවතුර තත්ත්වය මේ වනවිට බැසගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර මහතා පවසන්නේ අද දිනයේ නැවත වැසි ඇති වුවහොත් අත්තනගලු ඔය, කළු, කැළණි, ගිං සහ නිල්වලා යන ගංඟාවල නැවතත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.

    ගංඟා සහ අනෙකුත් දිය පහරවල් ආශ්‍රිතව කටයුතු කිරීමේදී තවදුරටත් දැඩි සැලකිල්ලකින් කටයුතු කළයුතු බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    Latest News