ජොන්ස්ටන් ප්‍රනාන්දුට අධිචෝදනා බාරදෙයි

ඔක් 10, 2022

    වෙළඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රුපියල් ලක්ෂ 59 කට අධික මුදලක් රජයට පාඩු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දුන්නා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී අදාළ නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධි චෝදනා භාරදීම සිදු කෙරුණා.

    මෙම අධි චෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියා.

    ඉන් පසුව නඩු විභාගය නොවැම්බර් මස 01 වන දා තෙක් කල් තැබුණා.

    2011 වසරේ සතොස ආයතනයෙහි සේවකයින් සිය නිල රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රුපියල් ලක්ෂ 59 කට අධික මුදලක් රජයට පාඩු කොට අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් කොමිසම විසින් හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

    Latest News