නව ජනපති තේරීමේ ඡන්ද විමසීම අද

ජූලි 20, 2022
  • ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම අද (20) පාර්ලිමේන්තුවේදි පැවැත්වෙයි.

    ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 38 වැනි ව්‍යාවස්ථාවේ (1) වැනි අනු ව්‍යාවස්ථාව ප්‍රකාරව ජනාධිපතිධූරය හිස් වූ අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 40 වැනි ව්‍යාවස්ථාව මගින් දක්වා ඇති පරිදි ධූරය හිස් වූ ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධූරය දැරීමට පාර්ලිමේන්තුව මගින් යම් මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කර ගත යුතු වනවා.

    මෙම තෝරාපත් කරගැනීම සිදු කල යුතු වන්නේ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන ප්‍රකාරවයි. මෙම ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් සිදු වන අතර අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී කථානායකවරයාට ද ඡන්දයක් හිමි වෙයි.

    මන්ත්‍රීවරුන් විසින් තමන් ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි “1” යන ඉලක්කම යෙදීම මගින් ඡන්දය සළකුණු කිරීම සිදුකළ යුතුයි.

    මෙහිදී අපේක්ෂකයින් තුන්දෙනෙකු යෝජනාවී ඇති බැවින් මනාප සළකුණු කිරීමටද අවස්ථාව පවතියි. ඒ අනුව අනෙක් අපේක්ෂකයන්ගේ නම් ඉදිරියේ ඇති කොටු තුළ 2,3 ලෙස මනාපයන් අනුපිළිවෙල අනුව යෙදිය හැකියි.

    දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් යම් අපේක්ෂකයෙකු ලබා ගන්නේ නම් එම අපේක්ෂකයා ජනාධිපතිධුරයට තේරී පත්වෙයි.

    දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයකුට ලැබී නොමැති නම් සටහන් කර ඇති දෙවන හා තෙවන මනාප පරික්ෂා කිරීම සිදු වනු ඇති.

    එහිදී අවම මනාප ලබා ගත් අපේක්ෂකයා ඉවත් කරමින් ඔවුන්ට දෙන ලද දෙවන මනාප ගණන් කිරීම සිදු කළ යුතුයි.

    එම ගණනය කිරීමේදී වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයෙකු විසින් ලබාගෙන නොමැති අවස්ථාවකදී එකී ගණන් කිරීමේ දී බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන ඇති අපේක්ෂකයා ජනාධිපතිධුරයට තෝරා පත් කර ගනු ලැබූ බව තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රකාශයට පත් කළ යුතුයි.

    අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර ඡන්ද සමාන වූ විට කුසපත් ඇදීමකින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගත යුතු බවයි 1981 අංක 02 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ දක්වා ඇත්තේ.

    ඡන්ද විමසීම සදහා අපේක්ෂකයන් තිදෙනෙක් ඉදිරිපත්වී ඇති අතර වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එම අපේක්ෂකයින් වෙයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයක් මඟින් එක් අපේක්ෂකයෙකු තෝරා ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

    මේ අතර පාර්ලිමේන්තුව හා ඒ අවට අද දිනයේදි දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වෙයි.

    Last modified on බදාදා, 20 ජූලි 2022 10:12

    Latest News