චම්පික රණවකගේ නඩුවක සාක්ෂි මෙහෙයවීමක් නොකරන බව නීතිපති දන්වයි

ජූලි 12, 2022
    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බලන තුරු ඒ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන රිය අනතුරු නඩුවේ ඉදිරි සාක්ෂි මෙහෙයවීමක් නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ප්‍රතිඥාවක් ලබා දුන්නේය.
    තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවක් ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනු කරන ලද අභියාචනා  පෙත්සමක් අද මුර්දු ප්‍රනාන්දු, ගාමිණි අමරසේකර සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බලන තුරු ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ ඉදිරි සාක්ෂි මෙහෙයවීම් කටයුතු නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දුන්නේය.
    අනතුරුව චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා ඉල්ලීම සලකා බැලීම සඳහා අගෝස්තු මස 03 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
    2016 වසරේ රාජගිරිය ප්‍රදේශීයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු අනතුරකට ලක් කොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙන බව පෙත්සම්කාර චම්පික රණවක මහතා අධිකරණය හමුවේ ගොනුකළ අභියාචනයෙන් සඳහන් කර තිබේ.
    එම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට තම නීතිඥවරු කොළඹ මහාධිකරණය හමුවේ මූලික විරෝධතා ගොනු කලත් ඒවා ප්‍රතික්ෂේප කොට නඩුව විභාගයට තැබීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළ බවයි චම්පික රණවක මහතා කියා සිටින්නේ.
    එම මහාධිකරණ  තීන්දුව නීතිවිරෝධී බවත් එය ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලමින් තමා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ ද එය ද අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළ බව ඔහු පවසයි.
    එබැවින් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා චම්පික රණවක මහතා විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ට ඉදිරිපත් කර තිබේ.

    Latest News