ගුවන්තොටුපොලේ දී ඉන්දීය ජාතිකයෙක් මරුට

පෙබ 18, 2019
    කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තය තුළ දී ඇද වැටීමෙන් විදේශීය  ගුවන් මගියෙකු අද (18) ජීවිතක්ෂයට පත්ව තිබේ.
    රාමනාථපුරම් හි පදිංචි 52 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක් වන ඔහු ඉන්දීය ජාතිකයෙක් බවයි, වාර්තා වන්නේ. ඔහු ඉන්දියාව බලා යළි ගමන් ගැනීමට අද අලුයම 2.00ට පමණ පැමිණ සිටි අවස්ථාවේ දී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත.
    එහිදී ඔහුට ඇති වූ කිසියම් රෝගාබාධිත තත්ත්වයක් හේතුවෙන් එහි වූ කොන්ක්‍රීට් කණුවක් බදා ගෙන ඇති අතර , පසුව ඔහු එම කණුව දිගේ පහළට වැටෙන අන්දම ගුවන් තොටුපළ තුළ සවි කර ඇති ආරක්ෂක කැමරා දර්ශන නිරීක්ෂණය කිරීමෙන් ගුවන් තොටුපළ පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.
     
    මෙම මරණය පිළිබඳව මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමට ගුවන් තොටුපළ පොලිසිය පියවර ගෙන තිබේ. සිද්ධිය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරීමෙන් අනතුරුව මෘත දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට ගුවන් තොටුපළ පොලිසිය කටයුතු යොදා ඇත.
    Last modified on සදුදා, 18 පෙබරවාරි 2019 13:02

    Latest News