පුද්ගලයින් 321ක් අද සිය නිවෙස්වලට (වීඩියෝ)

මාර් 31, 2020
  • නිරෝධායන කාලසීමාව අවසන් කළ තවත් පුද්ගලයින් 321 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගියේය.

    එලෙස පිටව ගියේ, ශ්‍රී ලංකා යුද හමුදාව සහ ගුවන් හමුදාව යටතේ නිරෝධායනය වූ පිරිස්. ගුවන් හමුදාව යටතේ අද නිරෝධායනය අවසන් කර පිටව ගියේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් මෙරටට පැමිණි කණ්ඩායමක්. ඔවුන් මාර්තු මස 17 වැනිදා වන්නි ගුවන් හමුදා කඳවුර වෙත නිරෝධායනය සඳහා යොමු කෙරිණ. ඊට පිරිමි පුද්ගලයින් 173 දෙනෙකු, කාන්තාවන් 33 දෙනෙකු සහ විදෙස් යුවලක් ඇතුළත්. සති දෙකක කාලයක් නිරෝධායනයට ලක්වූ මෙම පිරිස අද උදේ විශේෂ බස් රථ මගින් පිටව ගියේය.

    යුද හමුදා අධීක්‍ෂණය යටතේ නිරෝධායනයට ලක් කළ 08 වැනි කණ්ඩායම, අද සිය නිවෙස් බලා පිටත්විය. මෙලෙස පිටව ගියේ කුවේට් සහ කටාර් රාජ්‍යයන්හි සිට මෙරටට පැමිණි 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්.

    හැටන් දික්ඔය ප්‍රදේශයේ වතු පවුල් 200ක් ස්වයං නිරෝධානයකට යොමුකර තිබේ. ඒ, අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ උපදෙස් අනුවයි. කොවිඩ් 19 වෛරසය ආසාදනය වු දේවගැතිවරයා හැටන් දික්ඔය ප්‍රදේශයේ ද දේවස්ථානයකට පැමිණ ඇති බව වාර්තාවේ. ඒ අනුව දේව මෙහෙයට සහ ආහාර ද්‍රව්‍ය බෙදාදීම ද එහිදී සිදුකර තිබේ. ඊට පැමිණි පිරිස හඳුනාගත නොහැකිවීම නිසා එම කලාපය ස්වයං නිරෝධායනයකට යොමුකර තිබේ.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්වයං නිරෝධායනය අවසන් කළ 180 දෙනෙකුගෙන් යුත් පිරිසක් සමාජගත කර තිබේ. මෙලෙස නිරෝධායනයට ලක් කෙරුණේ, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය සහ එංගලන්තය ආදි රටවල සිට මෙරටට පැමිණි සංචාරකයින් සමඟ ඇසුරු කළ සංචාරක ව්‍යාපාරයේ නිරත වන පිරිසක්. ඔවුන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ නිර්දේශ මත මෙලෙස සමාජයට යොමු කළේය.

    මේ අතර, බලපිටිය හීනටිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සිව් දෙනෙකු තම නිවෙස් තුළ සිදුකළ ස්වයං නිරෝධායනය කටයුතු අද අවසන් කළේය. ඔවුන් ඉන්දියාවේ සංචාරයක යෙදුණු පිරිසක්. නිරෝධායනය සිදු කෙරුණේ, බලපිටිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන්ගේ සෘජු අධීක්‍ෂණය යටතේ.

    මේ අතර, කොවිඩ් 19 රෝගය සීඝ්‍රයෙන් පැතිර යන රටවල සිට පැමිණි පුද්ගලයින් නිරෝධායනය කිරීම පසුගිය 10 වැනිදා ආරම්භ කෙරිණ. එහි හත්වන කණ්ඩායම ඊයේ පිටව ගියේය. එම පිරිසට පුද්ගලයන් 134ක් ඇතුළත්. ඔවුන් පූනානි සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර සිටි පුද්ගලයින් වේ.

    ස්වයං නිරෝධායනය වන ලෙස ගාල්ල නගර සභාවෙන් දැන්වූ පුද්ගලයෙකු එම ක්‍රියාවලියේ නොසිටිම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල, හිරිඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු විදේශීය සංචාරක රියදුරෙකු ලෙස සේවය කර තිබේ. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 31 මාර්තු 2020 20:24

    Latest News