රාජා හස්තියා මියගොස් වසර 32ක්

ජූලි 17, 2020

    මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ, දළඳා සමිඳුන්ට අඩ සියවසක් සේවාව සැපයූ රාජා හස්තියා මියගොස් වසර 32ක් ගතවීම නිමිත්තෙන් සමරු වැඩසටහනක් සංවිධාන කෙරිණ.

    මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේ වනයකින් අල්ලා ගන්නා ලද ඇත් පැටවා 1925දී මහනුවර ගිරාගම වලව්වේ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාව විසින් මිලදී ගෙන තිබේ. අනතුරුව 1937 ජුලි 31 වැනිදා මාම්පිටිය දිසාව විසින් පූජා ඔප්පුවකින් රාජා ඇතා සහ කන්දා නමින් හැඳින් වූ තවත් ඇතෙකු ශ්‍රී දළදා මාලිගාවට පූජා කර තිබේ. ඒ සමයෙහි ඇතාගේ උස අඩි 08ක්. 1937 දී දළඳා පෙරහැරට ප්‍රථම වරට එක් වූ රාජා ඇතා 1953 වසරේදී කරඬුව වැඩම කිරීමට යොදා ගැණින. එතැන් සිට ඇතා මිය යන තෙක් කරඬුව වැඩම කිරීමේ වගකීම මනා ලෙස ඉටු කළේය.

    1986 අගෝස්තු 20 වැනිදා හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් රාජා ඇතා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. රාජා ඇතා මියගියේ 1988 ජුලි 16 වැනිදායි. මියයාමෙන් අනතුරුව ඇතාගේ ජීවමාන රූපය රාජ්‍ය අනුග්‍රහය ඇතිව ප්‍රති නිර්මාණය කොට ශ්‍රී දළදා මාලිකා කෞතුකාගාරයේ තැන්පත් කෙරිණ. එය 1989 දෙසැම්බර් 12 වැනිදා ජනතාවට විවෘත කෙරිණ. ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය “රාජා හස්තියා“ නමින් සමරු මුද්දරයක් නිකුත් කර තිබේ. ඊයේ පැවති සමරු වැඩසටහනේ දී එම සමරු මුද්දරයේ විශාලනය කරන ලද අනු පිටපතක් කෞතුකාගාරයේ තැන්පත් කෙරිණ.

    Latest News