ලොව බලවතුන්ගේ G7 සමුළුව ජපානයේ දී ඇ‍රඹේ

මැයි 19, 2023

    ලොව ඉහළම ආර්ථිකයන්ට හිමිකම් කියන බලවත් රටවල් 7 න් සැදුම්ලත් " G7" සමුළුව අද ජපානයේ - හිරෝෂිමා නගරයේ දී ආරම්භ වුණා.

    මෙවර සමුළුව සඳහා සත්කාරකත්වය සපයනු ලබන්නේ, ජපානයයි.

    අමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය හා ඉතාලිය යන රටවල රාජ්‍ය නායකයින් සමුළුවට සහභාගීවීම සඳහා ඊ‍යේ ජපානයේ හිරෝෂිමා නගරය වෙත පැමිණියා. අද ඇරඹෙන සමුළුව, ලබන 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. යුරෝපා සංගමය, " G7" කණ්ඩායමේ සාමාජිකයෙකු නොවන නමුත්, මෙවර වාර්ෂික සමුළුව සඳහා සහභාගී වීමට නියමිත බවයි, වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, දකුණු කොරියාව සහ ඉන්දියාව යන රටවල ‍නියෝජිතයින්ට ද මෙවර සමුළුව සඳහා ආරාධනා ලැබී තිබෙනවා. යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ද සමුළුව සඳහා පෞද්ගලිකව සහභාගී වීමට නියමිත බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙවර සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව අමෙරිකාවේ ණය සීමාව පිළිබඳ අර්බුදය විසඳීමේ ක්‍රියාවලියට මැදිහත් වීම සඳහා කඩිනමින් අමෙරිකාව වෙත යළි පිටත්ව යාමට නියමිත බවද, වාර්තා වනවා. මෙවර සමුළුවේ දී රුසියා - යුක්‍රේන යුද ගැටුම් සම්බන්ධයෙන් මූලිකව සාකච්ඡා කෙරෙනවා. දේශගුණික විපර්යාස, ආහාර සුරක්‍ෂිතතාව, සෞඛ්‍යය සහ න්‍යාෂ්ටික නිරායුධකරණය වැනි අංශ පිළිබඳවද මෙවර සමුළුවේ දී සාකච්ඡා කෙරෙනු ඇති‍.

    Latest News