සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේදී ජාතික රූපවාහිනියටත් සම්මානයක්

දෙසැ 13, 2020

    ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල පසුගියදා (11) ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

    එහිදී වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා ලෙස අශෝක ගුණතිලක මහතාත්, වසරේ ක්‍රීඩා සාහිත්‍ය ශාස්ත්‍රීය කෘතිය ලෙස ආචාර්ය සමන්තා නානායක්කාර මහත්මියගේ ව්‍යවහාරික ක්‍රීඩා මනෝ විද්‍යාව කෘතියත්, වසරේ ක්‍රීඩා සාහිත්‍ය විවිධ විෂයික කෘතිය සඳහා භාතිය අර්ථනායක මහතාගේ ද මයින්ඩ් කෘතියත් සම්මානයෙන් පිදුම් ලැබීය.

    මෙවන් ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලක් මෙරට පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙයයි. 2019 වසරට අදාළව සබුද්ධි සාහිත්‍ය කවය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන සබුද්ධි රන් සම්මානය සඳහා ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදීන් දෙදෙනෙක් වන පාලිත පෙරේරා සහ ප්‍රේමසර ඈපාසිංහ යන මහත්වරුන් වෙත පිරිනැමීම ද විශේෂත්වයක් විය.

    සිංහල ක්‍රිකට් විස්තර විචාරකයින් ලෙස කටයුතු කරමින් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම මෙරට ක්‍රීඩා සාහිත්‍ය වෙනුවෙන් දශක 5කට අධික කාලයක් කරන ලද මහඟු සේවය ඇගයීමක් ලෙස මොවුන් දෙදෙනාට මෙම රන් සම්මාන පිරිනමනු ලැබීය.

    උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා සහභාගී විය.

    මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ මළල ක්‍රීඩිකාවක වන සුසන්තිකා ජයසිංහ රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2000 වසරේ පැවැති සිඩ්නි ඔලිම්පික් උළෙලේදී මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීම වෙනුවෙන් ඇයට මෙම සම්මානය පිරිනැමීය.

    තවද සුසන්තිකාගේ එම ඔලිම්පික් ජයග්‍රහණයට විසි වසරක් සමරමින් මෙම සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල පැවැත්වීම ද විශේෂත්වයකි.

    IMG 0025

    මෙරට ක්‍රීඩා සාහිත්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ යටතේ සම්මාන සහ කුසලතා සහතික පත්‍ර පිරිනැමූ මෙම සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේදී 2019 වසරට අදාළව,

    වසරේ ක්‍රීඩා සාහිත්‍ය නව මාධ්‍යය සම්මානය - ThePapare.com
    (කුසලතා සහතික - Batsman.lk, Ceylonathletics.com )

    වසරේ ක්‍රීඩා සාහිත්‍ය රූපවාහිනී මාධ්‍යය - Newsfirst (කුසලතා සහතික - ජාතික රූපවාහිනිය, හිරු)

    වසරේ ක්‍රීඩා සාහිත්‍ය ගුවන්විදුලිය - ලක්හඬ (කුසලතා සහතික - වෙළඳ සේවය, නෙත් )

    වසරේ ක්‍රීඩා සාහිත්‍ය දිනපතා පුවත්පත - අරුණ (කුසලතා සහතික - අද, මව්බිම)

    වසරේ ක්‍රීඩා සාහිත්‍ය සතිඅන්ත පුවත්පත - රාවය (කුසලතා සහතික - දිවයින, ලංකාදීප)

    ලෙසින් ද සම්මානට පාත්‍ර විය.

    වසරේ විවිධ විෂයික ක්‍රීඩා කෘතියට හිමි කුසලතා සහතිකය දිනා ගත්තේ මංජුල ලන්දේකුඹුර රචනා කළ අට්ටාලය කෘතියයි. වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියාට හිමි කුසලතා සහතිකයෙන් සරත් ජයසිංහ සහ ලලිත් ගුණවර්ධන පිදුම් ලැබීය.

    IMG 0025

    ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා...

    “ගමේ පිට්ටනිවල ක්‍රීඩා කරන ක්‍රීඩකයාගේ සිට ජාත්‍යන්තර තලය දක්වා යන ක්‍රීඩකයින් දක්වා අපි සැලැස්මක් හදලා තියෙනවා. හැබැයි ඒ සැලැස්ම හදන කොට පහුගිය ඉතිහාසයේ අපට අමතක වුණු තැනක් තියෙනවා, ඒ තමයි ක්‍රීඩා සාහිත්‍යය විෂය.

    අපේ රටේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයා ගැන තිබෙන පොත්පත් ප්‍රමාණය හිඟ වීම අපට තියෙන අඩුපාඩුවක්. කුඩා කාලයේ දී ආඩම්බරයෙන් සාහිත්‍ය ගැන ඉගෙන ගත්තත් නූතනත්වයට එන කොට සාහිත්‍ය අමතක කිරීමෙන් මේ වන විට විශාල අභියෝගයන්ට අප මුහුණ දීලා තිබෙනවා.

    අපි විශ්වාස කරන දෙයක් තමයි ක්‍රීඩකයා සහ ක්‍රීඩාව ගැන තව තවත් ලියැවෙන්න ඕන. ක්‍රීඩකයෝ ගැන ලියැවෙනවා නම්, ඔවුන්ගේ ජයග්‍රහණයේ තිබෙන රහස ගැන ලියැවෙනවා නම් බොහෝ දේවල් අනාගත පරපුර වෙනුවෙන් අපට ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා කැපවන කැපවුණු සාහිත්‍යවේදීන් මාධ්‍යවේදීන් ඇගයීම ඉතාමත් කාලෝචිතයි.

    ඒ වගේම විය යුතු කාරණයක් ලෙස අපි දකිනවා. මොකද වර්තමානයේ ක්‍රීඩාවේ සිදුවන දේවල් අනාගතයේ දුවා දරුවන්ට කියවන්නට ඉතිරි කරන්නේ ඔබ සියලු දෙනායි“

     

    Latest News