දේශපාලන පළිගැනීමේ සූදානමක්: රජිතගෙන් නැවත අපේක්ෂිත ඇප අයැදුමක්

දෙසැ 20, 2019

    Up Date -  ඉකුත් ජනාධිපතිවරණය සමයේ සිදු කෙරුණු සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අද සවස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නැවතත් අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කෙරිණ. රහස් පොලිසියේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

    අපරාධ ක්‍රියා වලට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ඉදිරිපත් කළ ප්‍රකාශ මත තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමට රහස් පොලීසිය සූදානම් වන බව රාජිත සේනරත්න මහතා එම ඇප අයදුම්පතින් කියා සිටි.

    දේශපාලන පළිගැනීමක් වශයෙන් මෙය සිදු කිරීමට සූදානම් වන බව පෙන්වා දෙන සේනාරත්න මහතා එසේ අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ව අපේක්ෂිත ඇපයක් මත මුදා කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    මේ අතර රාජිත සේනාරත්න මහතා විසින් ඊයේ දින ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පතක් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රතික්ෂේප කර කෙරිණ.

     

    රාජිතගේ අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේපයි (ප:ව: 12:41)

    පසුගිය ජනාධිපතිවරණය සමයේ පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියට පොලීස් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇප මත මුදා හරින ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) ප්‍රතික්ෂේප කළේය.

    අපේක්ෂිත ආයදුම් පත අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සලකා බැලුවාය.

    පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙනුවෙන් පෙනී සිටින බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේය.

    අපේක්ෂිත ඇප පෙත්සමක් ඒක පාක්ෂිකව කරුණු සලකා බැලිය යුතු නඩු කටයුත්තක් බැවින් වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීම අනවශ්‍ය බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විවෘත අධිකරණයේ සඳහන් කළේය.

    ඉන් අනතුරුව පෙත්සම්කාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කිරීම කළේය. රහස් පොලිසිය තම සේවා දායකයා අත්අඩංගුට ගැනීමට සූදානම් වන්නේ මිනීමැරුමක්, පොදු දේපල අවභාවිතයක් හෝ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොව අපරාධ ක්‍රියා වලට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ලබා දුන් ප්‍රකාශයක් පදනම්ව දේශපාලන පළිගැනීමක් වශයෙන් යැයි වසන්ත බණ්ඩාර මහතා පැවසිය. ඉකුත් ජනාධිපතිවරණය සමයේ තම සේවාදායකයන් හමුවූ පුද්ගලයින් දෙදෙනකු, සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යෑමේ සිද්ධීන් හා ප්‍රභාකරන්ට අයත් රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධීන් පිළිබඳව තොරතුරු දන්නේ යැයි ප්‍රකාශ කර තිබූ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. එම පුද්ගලයින් දෙදෙනා පැවසූ කරුණු යම් සත්‍යතාවක් තිබෙන බව පෙනී ගිය හෙයින් එය මහජනතාවට ප්‍රකාශ කළ යුතු බවට තම සේවාදායකයා තීන්දුවක් ගෙන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ මූලික අයිතිය යටතේ මෙම පුද්ගලයින් දෙදෙනා මාධ්‍ය සාකච්ඡාවකට ඉදිරිපත් කළ බවද ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

    මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ පුද්ගලයින් දෙදෙනා රහස් පොලිසියේ අත්අඩංගුවට ගත් බවත් ඔවුන් බරපතළ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට අනාවරණය වූ බවත් ජනාධිපති නීතිඥ බණ්ඩාර මහතා කියා සිටියේය. ප්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡාවේදී තමන් ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා ලබා දුන් තොරතුරු බවත් ඒ වෙනුවෙන් හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාදුන් බවට එම පුද්ගලයින් දෙදෙනා රහස් පොලිසියට ලබාදුන් ප්‍රකාශ වල සඳහන් කර ඇති බවත් විවෘත අධිකරණයේදි වසන්ත බණ්ඩාර මහතා පැවසුවේය.

    මෙම කරුණු තම සේවාදායකයා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර එ අනුව කියා සිටියේය. බරපතල අපරාධකරුවන් දෙදෙනෙකු ලබාදුන් ප්‍රකාශ මත දේශපාලනික පළිගැනීමක් වශයෙන් තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන සිර භාරයේ තැබීමට රහස් පොලිසිය සූදානම් වන බැවින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ලබා ගැනීමේ අරමුණින් අධිකරණයට රාජිත සේනාරත්න මහතා පැමිණ ඇති බවද දන්වා සිටියේය.

    පෙත්සම්කරු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ කුමන වැරදි සහ කුමන වගන්තිය යටතේ ද යන්න ගැන ඔහු විසින් ඉදිරිපත් කළ පෙත්සමේ හා දිවුරුම් ප්‍රකාශයේ නිශ්චිතව සඳහන් කර නොමැති බව මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණය සඳහන් කළාය. පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ කුමන වැරදි සහ කුමන වගන්ති යටතේ ද යන්න පැහැදිලි කරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයාගෙන් ඉල්ලා සිටියාය. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ මිනීමැරීමේ චෝදනා හැර මෙම සිද්ධියට අදාළව අධිකරණය හමුවේ ගොනු කර තිබෙන "බී"වාර්තාවේ සෙසු වැරදි සම්බන්ධයෙන් අපේක්ෂිත ඇප ඉල්ලා සිටින බවයි.

    අපේක්ෂිත ඇප අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී එම අයදුම්පත ඉදිරිපත් කරන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ කුමන වැරදි සහ කුමන වගන්ති යටතේද යන්න පැහැදිලිව පෙත්සමේ පැහැදිලිව සඳහන් කර තිබිය යුතු බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තීරණය ප්‍රකාශ කරමින් පෙන්වා දුන්නාය. අපේක්ෂිත ඇප අයදුම්පතක් සලකා බැලීමේදී එම කාරණය නිරවුල්ව හා නිශ්චිතව සඳහන් කර තිබීම අත්‍යවශ්‍ය බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අවධානරය කළාය. අධිකරණයක් විසින් යම් පෙත්සම් කරුවෙකුට පිරිනමන අපේක්ෂිත ඇපයක් ඔහුගේ වෙනත් වැරදි වලට අදාළ විය හැකි බවත් ඒයින් නීති ක්‍රියාදාමය තුළ ව්‍යාකූල තත්වයක් නිර්මාණය විය හැකි බවත් ඇය පෙන්වා දුන්නාය.

    අපේක්ෂිත ඇප අයදුම්පතෙන් පෙත්සම්කරු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන වැරැදි පිළිබඳව නිශ්චිතව හා පැහැදිලිව කරුණු දක්වා නොමැති බැවින් සලකා බැලීම සඳහා අධිකරණයට හැකියාවක් නැතැයි තීන්දු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම පෙත්සමේ වගඋත්තරකරුවන්ට සිතාසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවද තීන්දුව ප්‍රකාශ පත් කරමින් සඳහන් කළාය.

    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමඟ මෙම සුදු වෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනා පසුගිය 13 වැනිදා අත්අඩංගුවට ගත් අතර, ඔවුන් ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණ.

    මෙම සිද්ධියට අදාළව සැකකරුවන් වු ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක පසුගියදා කඩවත, මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    Last modified on සිකුරාදා, 20 දෙසැම්බර් 2019 17:16

    Latest News