එක්වී අභියෝගවලට මුහුණ දෙමින් රට ගොඩනැගීමේ කාර්යයට එක්වන්න - ජනපති

අගෝ 03, 2022

    එකට එක්වී අභියෝගවලට මුහුණ දෙමින් රට ගොඩනැගීමේ කාර්යය සාර්ථක කර ගැනීමට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටිනවා. 

    පර්ලිමේන්තුව නියෝජනය කරන  සියලු පක්‍ෂ සමග එක්වී සර්වපාක්‍ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අද යළිත් අවධාරණය කළා.  රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අද විවෘත කරමින්.

    ජනාධිපතිතුමා සිදුකළ කතාව පහතින්...

    සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සභාවට ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේ,රජයේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති ඔස්සේ රටත්, ජාතියත් ගොඩනැගීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියහොත් 2048 වසරේ 100 වෙනි නිදහස් සංවත්සරය සමරන අවස්ථාවේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කළ හැකි බවයි.

    සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා මෙසේ ද කීය.

    සාමකාමී ලෙස අරගලයේ යෙදීම මූලික මිනිස් අයිතිවාසිකමකි. ඒ අයිතිවාසිකම් මම පිළිගන්නවා. මම අරගලකරුවන් දඩයම් කිරීමට කටයුතු කරන බවට විශාල ප්‍රචාරයක් සමහර කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පතුරවාලන්න උත්සාහ ගන්නවා. නමුත් එය ඇත්තක් නෙවේ.

    සාමකාමී අරගලකරුවන්ට කිසිදු ආකාරයේ අගතියක් සිදු වීමට මම ඉඩ දෙන්නේ නැ. සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් මම විශේෂ කාර්යාංශයක් පිහිටුවනවා.

    සිදුකළ යුතු සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ මොනවා දැයි තීරණය කිරීම උදෙසා ජන සභාවක් ස්ථාපිත කිරීමටත් මම පියවර ගන්නවා. දේශපාලන පක්ෂ, විවිධ සංවිධාන සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු පුද්ගලයන්ගේ අදහස් විමසීමේ යාන්ත්‍රණයක් මේ ජනසභාව ඔස්සේ සකස් කරනවා. ඒ සඳහා අදහස් ලබා දෙන මෙන් අරගලයට සම්බන්ධ වූ සහ සම්බන්ධ නොවූ තරුණ පරපුරට මම විශේෂයෙන් ආරාධනා කරනවා.

    මම අද දවසේ පැළ කරන ගසෙහි ඵලදාව මට භුක්ති විඳින්න ලැබෙන්නේ නැති බව මම හොඳින්ම දන්නවා. ඒත් හෙට දවසේ අපේ දූ දරුවන්, අනාගත පරම්පරාව ඒ ඵලදාව භූක්ති විඳිවි.

    මීට දශක හතරකට පෙර රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ආර්ථික සංකල්පයක් පැවතුණා. නමුත් එය අසාර්ථක හා අකාර්යක්ෂම බව දැන් මුළු ලෝකයම පිළිගන්නවා. සමාජවාදී රටවල් වන චීනය සහ වියට්නාමය පවා දැන් රාජ්‍ය ව්‍යවසාය ක්‍රියාත්මක කරන්නේ නෑ. අපි තවදුරටත් මේ පැරණි සංකල්පයේ එල්ලී සිටියොත්, අපේ රට තවදුරටත් පහළට වැටීම කිසිවෙකුටත් වළක්වා ගන්න වෙන්නේ නෑ. ඒ නිසා මේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ අපට ප්‍රතිපත්තිය තීරණ ගැනීමට සිදු වෙනවා.

    ලෝකයේ මෙතෙක් ආර්ථික බලවතුන් වුණේ බටහිර රටවල්. නමුත් 21 වන සියවස නිමා වෙන්නට පෙර ලෝකයේ බලවත් ආර්ථිකය ඉන්දීය සාගර කලාපයට හිමි වෙනවා. එබඳු පසුබිමක අපේ රටේ භූගෝලීය පිහිටීම අතිශය වැදගත්. මේ වාසිදායක පිහිටීමෙන් අප උපරිම ප්‍රයෝජන ලබාගත යුතුයි. මේ පිළිබඳ සිහි තබාගෙන අපේ අනාගත ආයතනික නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම කළයුතුයි.

    හැමදාමත් ණය ගනිමින් රටක් ගෙනයන්න බැහැ. ණය ගැනීම් හැකිතාක් අවම කරගැනීමට අප කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා ඉන්දීය සාගරය කේන්ද්‍රීය, නව ආර්ථික බලයෙන් අපේ රටට උපරිම ප්‍රයෝජන ලබාගත හැකි නීති-රීති හා ප්‍රතිපත්ති මම ඔබ සමග එකතු වී සම්පාදනය කරනවා.

    ඉන්දියාව සමග සම්බන්ධ වී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී එය ඉන්දියාවට විකුණනවා යැයි කියමින් සංවර්ධන ව්‍යාපෘති අඩාල කළා. එදා අපට තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කරගන්න හැකි වුණානම් අද ජනතාවට ඉන්ධන පෝලිම්වල දින ගණන් රස්තියාදු වෙන්න සිදු වෙන්නේ නැහැ.

    සුවසැරිය ගිලන් රථ සේවය ආරම්භ කරද්දිත් ඒ හා සමාන විරෝධයක් එල්ල වුණා. සුවසැරිය ගිලන් රථ වලින් රෝහලට ආවොත් අත්වෙන්නේ මරණය යැයි කියමින් සමහර වෛද්‍යවරු මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තා. නමුත් අප කෙසේ හෝ සුවසැරිය ආරම්භ කළ නිසා මේ වන විට ජීවිත දහක් ගණනක් ආරක්ෂා වී තිබෙනවා.

    සැහැල්ලු දුම්රිය සේවය ස්ථාපිත කිරීමේදීත්, වරාය වැඩිදියුණු කිරීමටත් ජපානය ඉදිරිපත් වූ අවස්ථාවේ පදනම් විරහිතව බොළඳ හේතු දක්වමින් ඊට විරුද්ධ වුණා. මේ නිසා අපේ රටට ලැබීමට තිබුණු ඩොලර් බිලියන තුනකට (03) අධික මුදලක් රටට අහිමි වුණා.

     

     

    Latest News