ලංකාවේ තරුණයින්ට කොරියාවෙන් ලැබෙන තෑග්ග

සැප් 19, 2023

    ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහය ලබා දෙන බව, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා පවසනවා.

    නිව්යෝර්ක් හි එක්සත් ජාතින් සඳහා වන දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩල කාර්යාලයේ දී, රාජ්‍ය නායකයන් දෙදෙ‍නා අතර ‍ඊයේ පැවති සාකච්ඡාවක දී, ඒ මහතා මේ බව කියා සිටියා.

    මෙරටට ලබා දී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්‍ෂා කරන බවත්, ඒ තුළින් ඉදිරියේ දී මෙරට තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා ගත හැකි බවත්, යූන් සුක් මහතා මෙහිදී අවධාරණය කළා. දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී අගය කෙරුණා. 1978 වසරේ සිට ආරම්භ වූ ශ්‍රී ලංකා - දකුණු කොරියා, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද රාජ්‍ය නායකයන් දෙපළ අවධානය යොමු කළා. දෙරට අතර වෙළෙඳ හා අයෝජන සබඳතා ඉහළ නංවා ගැනීම සහ වෙළෙඳ ගිවිසුම්වලට කඩිනමින් එළඹීමේ අවශ්‍යතාව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

    මෙරට ඩිජිටල්කරණ වැඩසටහන සඳහා තම ‍රටෙන් බොහෝ ආදර්ශ ලබා ගත හැකි බවයි, දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ. නුදුරේදීම එරට නිල සංචාරයකට එක්වන්නැයි, යූන් සුක්මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට ආරාධනා කළා. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා.

    Last modified on අඟහරුවාදා, 19 සැප්තැම්බර් 2023 10:32

    Latest News