'කොවිඩ් රැළි පරාජයට ශක්තිමත් නායකත්වය සහ මහජන සෞඛ්‍ය පිළිවෙත් ඉවහල් වුණා'...සෞඛ්‍ය ඇමති

සැප් 08, 2021

    කොවිඩ් ව්‍යසනය ආරම්භයේ සිට ඇති වූ වසංගත රැළි පරාජය කිරීම සඳහා මෙරට ශක්තිමත් මහජන සෞඛ්‍ය පිළිවෙත් සහ ශක්තිමත් නායකත්වය ඉවහල් වූ බව, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 

    විශේෂයෙන් හදිසි තත්ත්වයන් මත පෙර සූදානම් වීම , ඒ් තුළ වඩාත් ඉවහල් වූ බවද මනා කළමණාකරණයක් හා ශක්තිමත් වැඩපිළිවෙලක් ඔස්සේ කොවිඩ් ව්‍යසනය පරාජය කිරීම ප්‍රමුඛ අරමුණ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ 74 වැනි අග්නිදිග ආසියානු කලාපීය සමුළුවේ 2 වැනි දින සැසියට ඊයේ (7) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම සමුළුව ලබන 10 වැනිදා දක්වා පැවැත්වෙයි.

    එම සමුළුවේ සභාපතිත්වය නේපාලයේ සෞඛ්‍ය සහ ජනගහන අමාත්‍ය Umesh Shrestha මහතා විසින් උසුලනු ලැබේ.

    මෙම සැසියේදී එක් එක් රටවලට යොමු කෙරුනු ප්‍රශ්න මාලාව යටතේ මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන පැනයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

    ජීවිත රැක ගැනීම සහ ජනතාව ආරක්ෂා කරගැනීම යන ප්‍රමුඛ අරමුණ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යුද හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන සිවිල් සමාජය හා ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    කොවිඩ් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයටම අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට බලපෑම් එල්ල වූ බැවින් “සියළු දෙනාටම සෞඛ්‍ය” යන අරමුණ ජය ගැනීම වෙනුවෙන් වසංගතයට පෙර සිටම ආරම්භ කරන ලද ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉදිරියටත් ඉහළ නංවමින් ක්‍රියාත්මක කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    මෙයට සමගාමීව කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම සමුළු නියෝජිතයන් දැනුවත් කළේය. එමෙන්ම සෞඛ්‍ය තොරතුරු සන්නිවේදනය පිළිබඳව හා එහි සන්නිවේදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන ප්‍රගතිය හා වත්මන් තත්ත්වය හා කරගෙන යනු ලබන වැඩපිළිවෙල මෙන්ම ක්‍රියාමාර්ග ද මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

    Last modified on බදාදා, 08 සැප්තැම්බර් 2021 12:50

    Latest News