පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව, ස්ථාවර සංඛ්‍යාවකට අඩු කිරීමට නිර්දේශ...

සැප් 03, 2021

    පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ස්ථාවර සංඛ්‍යාවක් දක්වා අඩු කළ යුතු බව, පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීමේ කමිටුව නිර්දේශ කර තිබෙනවා.

     

    කිසියම් පක්‍ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ආයතනයක නියෝජනය ලබා ගැනීමට නම් බලප්‍රදේශයේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 2.5% කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත යුතු බවයි, කමිටුව පෙන්වා දෙන්නේ.  පළාත් පාලන ඡන්ද ක්‍රමයේ පවතින අඩුපාඩු හඳුනා ගනිමින් ඒ සඳහා වන විසඳුම් ලබාදීම සඳහා රාජ්‍ය සේවා,  පළාත් සභා හා පළාත් පාලන අමත්‍යවරයා පත් කළ ත්‍රීපුද්ගල සමලෝචන කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී සලකා බැලිම ඊයේ සිදු කෙරුණා.

    මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීති වල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමත්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අරමුණයි. ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඒ. ඒ. කේ රණවක මහතා පළාත් පාලන මැතිවරණ ක්‍රමය, සමාලෝචන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.

    පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාවෙහි සිදුව ඇති අසාමාන්‍ය වර්ධනය ස්ථාවර සංඛ්‍යාවක් දක්වා අඩු කළ යුතු බවයි, කමිටුවේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේ.  සභික සංඛ්‍යාවෙන් 70% ක් කොට්ඨාස පදනම මතද,  30% ක් අනුපාත පදනම මතද තෝරා ගත යුතු බව,  ඔහු මෙහිදී කියා සිටියා. පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු තෝරා ගන්නා සමානුපාතික නියෝජන ක්‍රමයම මීට සුදුස බව,  සමාලෝචන කමිටුවේ නිර්දේශය බවයි, සුදන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේ.

    ජයග්‍රාහී පක්‍ෂ සඳහා කිසියම් ප්‍රසාද ආසන ක්‍රමයක් හඳුන්වා නොතිබීම දුර්වලතාවයක් බව පෙන්වා දුන් කමිටුව ඒ හේතුවෙන් පළාත් පාලන ආයතන අස්ථාවර වී ඇතැයි කියා සිටියා. ජනතාවගේ කැමැත්ත, අඩු මන්ත්‍රී සංඛ්‍යාවක් සහිත පළාත් පාලන ආයතනයක් පවත්වා ගැනීම බව,  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියා. එහෙත් කොට්ඨාසයකට වගකියන මන්ත්‍රීවරයෙකු සිටිය යුතු බවයි, ඔහු පෙන්වා දුන්නේ. නීතිපතිවරයාගේ නිගමන සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිරීක්ෂණ ඇතුළත් වාර්තා ද, සභා ගත කෙරුණා.

    නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී.එල්.පීරිස්, ඩග්ලස් දේවානන්ද, අලි සබ්‍රී යන අමාත්‍යවරුන්ද,  කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම් ඒ සුමන්තිරන්, මධුර විතානගේ,  සාගර කාරියවසම් යන මන්ත්‍රීවරුන්ද කාරක සභාවට එක්ව සිටියා. කාරක සභාවේ මීලඟ රැස්වීම ලබන සඳුදා පැවැත්වීමට නියමිතයි.

    Latest News