සන්ෂයින් සුද්දා මරුට

සැප් 03, 2021

    ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන හෙට්ටිහේවාගේ අමිල ප්‍රසන්න හෙවත් "සන්ෂයින් සුද්දා" වෙඩි තබා ඝාතනය කර තිබේ.

    මාතර, කොටපොල පොලිස් බලප්‍රදේශයේ වරකාපිටිය පාසල අසලදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඔහුට වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    අද දහවල් 11.55 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර පාසල ආසන්නයේ පිහිටි කැළෑබද ප්‍රදේශයක සිට කිසියම් පුද්ගලයෙකු මොහුට වෙඩිතබා ඇති බව ද පොලිසිය පැවසීය.

    වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වෙයි.

    ඔහු 31 හැවිරිදි අමිල ප්‍රසන්න මාතර, මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර දකුණු පළාතේ සිදුවූ මත්ද්‍රව්‍ය, ජාවාරම් රැසකට මොහු සම්බන්ධ බවද පොලිසිය සඳහන් කළේය.

    සැකකරුට එරෙහිව මේ වන විටත් ඩුබායි හි අධිකරණයක මෙන්ම මාතර කොටවිල අධිකරණයේදී නඩු විභාගවෙමින් තිබෙන බව වාර්තා විය.

    කෙසේවෙතත් කවුරුන් විසින් කුමන හේතුවක් මත අදාළ ඝාතනය සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර කොටවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News