ශ්‍රී ලංකාව අමෙරිකාවේ පුහුණුවීම් අරඹයි

මැයි 20, 2024

    එළඹෙන ජුනි 2 වනදා සිට බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ සත්කාරකත්වයෙන් ආරම්භ වන ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම උතුරු කැරොලිනාවේ මොරිස්විල්හි චර්ච් ස්ට්‍රීට් පාර්ක් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

    කණ්ඩායම බ්‍රහස්පතින්දා පුහුණුවීම් ආරම්භ කර ඇති අතර වර්ෂාව හේතුවෙන් සෙනසුරාදා ගෘහස්ථ පුහුණුවීම් වලදී පන්දු රැකීමේ සැසි සිදු කර තිබෙනවා. මැයි 25 තෙක් මෙහි පුහුණු වීම් සඳහා රැඳී සිටින ඔවුන් අනතුරුව පුහුණු තරග සඳහා ෆ්ලොරිඩා වෙත යාමට නියමිතයි.

    ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය නෙදර්ලන්තයට එරෙහිව එළඹෙන 28 වනදා ලොන්ඩර්හිල් හිදී පැවැත්වීමට නියමිතයි. දෙවැන්න 31 වනදා පැවැත්වෙන්නේ අයර්ලන්තයට එරෙහිවයි.

    ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියලු දෙනාම ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව රැකගෙන සිටින අතර මේ දින වල ඇ.එ.ජ. කාලගුණය එතරම් වෙනස් නොවන අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 27-28 අතර අගයක් ගන්නා බව කළමනාකාර මහින්ද හලංගොඩ මහතා පවසනවා.

    තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ජූනි මස 03 වනදා දකුණු අප්‍රිකාව සමග නිව්යෝක් හි නසාවු ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. මෙය මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරගයද වනවා.

    Latest News