බාලවයස්කාර දැරියක් දූෂණය කළ වෛද්‍යවරයා රිමාන්ඩ්

ජූලි 06, 2021

    බාලවයස්කාර දැරියක් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    එදින එම සැකකරු ඇන්ටිජන් පරීක්ෂණයකට භාජනය කර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළාය.

    මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කියාසිටියේ මෙම සැකකාර වෛද්‍යවරයා නාවික හමුදාවට අනියුක්තව ලූතිනන් කමාන්ඩර්වරයෙක් වශයෙන් ද කටයුතු කරන බවයි.

    මෙම සැකකාර වෛද්‍යවරයා "මහේෂ්" නැමැත්තෙකු මාර්ගයෙන් මෙම දැරියගේ සේවය ලබාගෙන ඇති බව සඳහන් කළ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් මෙම ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රධාන සැකකරු වන "රජිව්" නැමැත්තාගේ වාහනයෙන් මෙම දැරිය කොල්ලුපිටිය ප්‍රදේශයට රැගෙන විත් මෙම සැකකරුට බාරදී ඇති බවත් පැවසුවා.

    අතවරයට පත් දැරියගේ ජංගම දුරකථනයේ මෙම සැකකාර වෛද්‍යවරයාගේ දුරකථන අංකය තිබෙන බව සඳහන් කළ පොලිසිය මෙම දැරියට සැකකාර වෛද්‍යවරයා විසින් රුපියල් 20,000 ක මුදලක් ගෙවා ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇති බවත් පැවසුවා.

    මෙම සැකකාර වෛද්‍යවරයා යළි දුටුවොත් හඳුනාගත හැකි බවට අතවරයට පත් දැරිය විසින් ප්‍රකාශ කර ඇති හෙයින් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙහිදී පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

    මෙහිදී සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා විශේෂඥ හෘද රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර සහ කොතලාවල ආරක්ෂක රෝහල යන ආයතන වල කටයුතු කරන බව පැවසුවා.

    තම සේවාදායකයා මෙම දැරියගේ සේවය ලබාගැනීම සඳහා අදාළ හෝටලය වෙත ගිය බව ඔහු විසින් පිළිගන්නා නමුත් අදාල හෝටලයේ දී එම දැරිය බාලවයස්කාර දැරියක් බව වටහා ගත් විගසම ඔහු එම ස්ථානයෙන් වහා ඉවත් වී ගිය බව සඳහන් කළේය.

    අදාල හෝටලයේ සි.සි.ටි.වි කැමරා දර්ශන පරීක්ෂා කළහොත් ඒ බව තහවුරු කරගත හැකි බව සඳහන් කළ නීතිඥවරයා අදාළ දැරිය දුෂණය කළ බවට නැගෙන චෝදනාව ඔහු විසින් ප්‍රතික්ෂේප කරන බවයි අධිකරණය හමුවේ සඳහන් කළේ.

    එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ පොලීසිය මෙම සැකකරු අතවරයට පත් දැරිය බාලවයස්කාර දැරියක් බව හොඳින්ම වටහාගෙන සිටි බව සඳහන් කළේය.

    මෙම සැකකරුගේ දුරකථන අංකය අතවරයට පත් දැරියගේ ජංගම දුරකතනය තුල තිබීම තුළින් ඒ බව තහවුරු වන බව කී පොලීසිය සැකකරු නැවත දුටුවොත් හඳුනාගත හැකි බවට අතවරයට පත් දැරිය ප්‍රකාශ කර ඇතැයිද සඳහන් කළේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකාර වෛද්‍යවරයා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළේය.

    මෙහිදී සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයා මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

    ඒ අනූව අදාළ සැකකරු ඇන්ටිජන් පරීක්ෂණයකට භාජනය කර ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ලබන 09 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

    මේ අතර අතවරයට පත් දැරිය විවිධ පුද්ගලයින්ට විකිණීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි, අත්අඩංගුවට ගන්නා ලද ත්‍රිරෝද රථ රියදුරකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළේය.

    එමෙන්ම අදාළ දැරිය දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු වෙනුවෙන් නියම කර ඇති හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක්ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විසින් අද ප්‍රතික්ෂේප කළේය.

    අදාළ සැකකරුවන් අධිකරණය හමුවේ දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කරමින් තමන් අදාළ දැරිය සිටි ස්ථානයට ගිය බවට පිළිගැනීමක් කරන බවත් ඒ අනූව ඔවුන් හදුනාගැනීම සඳහා හදූනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීම අනවශ්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ විමර්ශන අවස්ථාවේ දී මෙවැනි දිවුරුම් ප්‍රකාශ මත හදූනාගැනීමේ පෙරට්ටු අවලංගු කිරිමට හැකියාවක් නොමැති බවයි.

    මේ අතර, අතවරයට පත් දැරිය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කළ වෙබ් අඩවි කිහිපයකට ශ්‍රී ලංකාව තුළදී පිවිසීම තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විසින් ප්‍රතික්ෂේප කළාය.

    කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වැනි වගන්තිය ප්‍රකාරව තමන්ට මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට බලය තිබෙන බවයි.

    එහෙත් මෙවැනි ක්‍රියා තහනම් කිරීම සඳහා රජයේ ආයතන වෙත ප්‍රමාණවත් බලතල තිබෙන බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරිය ඒ සඳහා අධිකරණ නියෝග අවශ්‍ය නොවන බවයි කියා සිටියේ.

    ඒ ඒ රාජ්‍ය ආයතන වලට තිබෙන බලතල උපයෝගී කරගනිමින් මෙම කාර්යය කිරීමට ඔවුන්ට හැකියාව තිබෙන බවද මෙහිදී මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය.

    කෙසේ වෙතත් මෙම වෙබ් අඩවිවල කටයුතු පිළිබඳ කරුණු විමසීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නීති නිලධාරියෙකුට මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් මහේස්ත්‍රාත්වරිය විසින් නොතීසි නිකුත් කළාය.

    මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ තවත් ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් කිහිප දෙනෙකුගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩකඩ සලසා දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

    Latest News