Zscore අභියෝගයට ලක්කළ පෙත්සම සලකා බැලීම තවදුරටත්

දෙසැ 11, 2020

    මෑතකදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කරන ලද විශ්ව විද්‍යාල කඩඉම් (ඉසෙඩ් ස්කෝර් ) ලකුණු අනුව විශ්ව විද්‍යාල ඉන්ජිනේරු සහ භෞතික විද්‍යා පීඨ සදහා සිසුන් ඇතුලත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම සිදු කෙරිණ.

    2019 වසරේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත් වූ සිසුන් හතළිස් දෙදෙනෙක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබිණ.

    මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ, එස්.තුරයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද යළි සළකා බැලිණ.

    එහිදී පෙත්සම්කාර සහ අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම අවසන් කෙරිණ.

    අනතුරුව පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 16 වැනිදා තෙක් කල් තැබිණ.

    මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන ඇමතිවරයා, එම අමාත්‍යාංශ ලේකම් වරයා, විභාග කොමසාරිස්වරයා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ එහි සභාපතිවරයා, නීතිපති වරයා මෙහි නම් කර තිබේ.

    තමන් ගණිතය, රසායන විද්‍යාව,සහ භෞතික විද්‍යා විෂයයන් යටතේ 2019වසරේ පැවති අ.පො.ස.උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත් වූ බව පෙත්සම්කරුවන් කියා සිටියි.

    විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා වන ඉසෙඩ් ලකුණු පසුගිය දා ප්‍රකාශයට පත්කල අතර එහිදි නව විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සහ පැරණි විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා වන ඉසෙඩ් ලකුණු අතර විශාල පරතරයක් ඇති බවද ඔවූන් පෙන්වා දෙයි.

    මේ හේතුවෙන් තමන්ට විශාල අසාධාරණයක් සිදු වීඇති බැවින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීරණය කරන ලෙසත්, විෂය නිර්දේශ දෙක සදහා සමාන හෝ සාධාරණ කඩඉම් ( ඉසෙඩ් ස්කෝර්) ලකුණු ප්‍රමාණයක් නිකුත් කරන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන ලෙස ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම මගින් ඉල්ලා තිබේ.

    Latest News