මෙරට කොවිඩ්19 ආසාදිත 19,279 න් 13,270 කට සුවයි

නොවැ 21, 2020

    පසුගිය පැය 24 තුළ රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 368 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    ඊයේ (20) වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 19,279 ක් වන අතර ඉන් පුද්ගලයින් 13,270 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (20) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,935 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    එමෙන්ම ඊයේ ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (21) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 74 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    අද (21) දින උදෑසන වනවිට, කොවිඩ් - 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ පළමු සහ දෙවන ආශ්‍රිථතයින් 30,000 ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

    ඊයේ (20) දිනය තුල PCR පරික්ෂණ 11,398 ක් සිදුකර ඇත.

    Latest News