උපුල් චමින්ද - සංජීව ප්‍රසාද් 28 දක්වා රිමාන්ඩ්

දෙසැ 14, 2018

    2008 - 2009 වසරවල පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාවික හමුදාවේ හිටපු සුළු නිලධාරි හිඹුලාන ලියනගේ උපුල් චමින්ද හෙවත් අන්නච්චි සහ සංජීව ප්‍රසාද් ඉලංග සේනාරත්න යන දෙදෙනා ලබන 28 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව නිලනොලත් මහේස්ත්‍රාත් නීතිඥ දීමනි බැද්දේවෙල මහත්මිය නියෝග කළේය. 

    තරුණයන් පැහැර ගැනිම ,ඝාතනය කිරිම සඳහා අනුබල දීම ඇතුලු චෝදනා ඉදිරිපත් කරමින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

    හිඹුලාන ලියනගේ උපුල් චමින්ද හෙවත් අන්නච්චි යන අයට අයත් සිම් භාවිතා කරමින් දරුවන් වෙනුවෙන් මුදල් ලබා දෙන ලෙස අතුරුදහන් වූ දරුවන්ගේ මව්වරුන්ට පවසා ඇත්තේ හිඹුලාන ලියනගේ උපුල් චමින්ද හෙවත් අන්නච්චි යන අය බවත් යතුරු පැදි බලකායේ සේවය කර ඇති නාවික නැවි සංජීව ප්‍රසාද් ඉලංග සේනාරත්න යන අය යතුරු පැදි වලින් ගොස් කප්පම් මුදල් ලබා ගෙන ඇති බවත් සිදු කළ විමර්ශන අනාවරණය කර ඇති බව රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණයට කියා සිටියේය.

    දෙමාපියන්ගෙන් රුපියල් ලක්ෂ පහ බැගින් වරින් වර කප්පම් මුදල් ලබා ගෙන ඇති බවට විමර්ශනයෙන් හෙලි වී ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සිද්ධියට අදාළව 10 වන සැකකරු වන නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරු මේ වන විටත් රක්ෂිත භාරයේ සිටින අතර සිද්ධියට අදාළව නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක, නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ, සම්පත් මුණසිංහ, නාවික නැවි ලක්ෂ්මන් උදය කුමාර,නලින් ප්‍රසන්න වික්‍රමසූරිය සහ තම්මිට ඉහළ ගෙදර ධර්මදාස, රාජපක්‍ෂ පතිරනලාගේ කිත්සිරි ඇතුලු සැකකරුවන් 9 දෙ‍නෙකු ඇප මත සිටි.

    පුද්ගලයින් 11 දෙනෙකු වසර 2008ඩඅගෝස්තු 08 වනදා සිට වසර 2008 සැප්තැම්බර් මස 17 වනදා දක්වා කොටහේන, වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුලු ස්ථාන කිහිපයකදී කස්තුරිආරච්චිගේ ජොන් රීට්, රජිව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජිත්, ජමාල්ඩීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරිආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් යන අය මෙම සිද්ධියට අදාළව අතුරුදන්ව ඇත.

    Last modified on සිකුරාදා, 14 දෙසැම්බර් 2018 17:40

    Latest News